2. නාථ වර්‍ගය
10. 1. 2. 1.
සේනාසන සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, අඞ්ග පසෙකින් සමන්‍වාගත මහණ පසඟෙකින් සමන්‍වාගත සෙනසුන් සෙවුනේ බජනුයේ නොබෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයයෙන් ඉහාත්මයෙහි ම චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ පසක් කොට එයට පැමිණ වාස කරන්නේ ය.
මහණෙනි, කෙසේ මහණ පසඟෙකින් සමන්‍වාගත වේ ද:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැතියේ වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදනේ ය: “මෙසේ ද ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්යහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරයහ, පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘ හ, බුද්ධයහ, භගවත්හ”යි.
2. අල්පාබාධ වූයේ අල්පාතඞ්ක වූයේ අතිශීත නො වූ අත්‍යුෂ්ණ නො වූ ප්‍රධන්වීර්‍ය්‍යයට ක්‍ෂම වූ මධ්‍යම වූ සමව පැසවන කර්‍මජතේජෝධාතුයෙන් සමන්‍වාගත වෙයි.
3. සඨ නො වූයේ මායා නැතියේ ඇති සැටිය තමා ශාස්තෘන් කෙරෙහි වේවයි නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි පාළ කරනුයේ වෙයි.
4. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ කුසල්දහම්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ ඇරඹූ වැර ඇතියේ වාසය කෙරෙයි.
5. ආර්‍ය්‍ය වූ ලොභස්කන්‍ධාදිය බිඳීමට සමත් මොනොවට දුඃඛක්‍ෂයට පමුණුවන උදයාස්තංගාමිනිප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
මහණෙනි, මෙසේ මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
මහණෙනි, කෙසේ සෙනසුන පඤ්චාඞ්ගසමන්‍වාගත වේ ද ;
6. මහණෙනි, මෙ සස්නෙහි සෙනස්න අතිදුර නො වූයේ අත්‍යාසන්න නො වූයේ ගමනාගමනින් සපන් වූයේ වෙයි.
7. දහවල් (මිනිසුන්) නො ගැවසුණේ රාත්‍රි අල්පශබ්ද වූයේ අල්පනිර්ඝෝෂ වූයේ වෙයි.
8. මැසිමදුරු වා අවු දිගුදෑ පහස් නැතියේ වෙයි.
9. එ සෙනස්නෙහි වසන්නහුට නිදුකින් ම සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර උපදනේ ය:
10. එ සෙනස්නෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හසළ ආගම ඇති සූත්‍රපිටකධර විනයධර (ප්‍රාතිමෝක්‍ෂද්වය සඞ්ඛ්‍යාත) මාතෘකාධර තෙර මහණහු වෙසෙත්. කලින් කල උන් කරා එළඹ පුළුවුස්නේ ය, පිරිසිඳුනේ ය: ‘වහන්ස, මේ කිසේ ය, මෙහි කවර අරුත් දැ’යි. ඔහට ඒ ඇවත්හු අවිවෘත වූත් අර්‍ත්‍ථය විවර කෙරෙත්, නො පාළ වූවා පාළ කෙරෙත්, නන් වැදෑරුම් සැකයට කරුණු වූ දහම්හි සැක දුරලත්.
මහණෙනි, මෙසේ සෙනස්න පසඟින් සමන්‍වාගත වෙයි; මහණෙනි, පඤ්චාඞ්ගයෙන් සමන්‍වාගත මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත සෙනස්න සෙවුනේ බෙජෙනුයේ නො බෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයයෙන් දුටුදැමියෙහි ම ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරනේ ය.
10. 1. 2. 2.
පඤ්චඞ්ග සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, පඤ්චාඞ්ගවිප්‍රහීණ වූ පඤ්චාඞ්ගසමන්‍වාගත මහණ මේ ධර්‍මවිනයෙහි සකලගුණසමන්‍වාගත වුසූබඹසර ඇති උත්තමපුරුෂ යි කියනු ලැබේ.
මහණෙනි, මහණ කෙසේ පඤ්චාඞ්ගවිප්‍රහීණ වේ ද යත්;
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථිනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡා ප්‍රහීණ වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චාඞ්ගප්‍රහීණ වෙයි.
මහණෙනි, කෙසේ මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත වේ ද යත්;
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.