10. 1. 2. 8.
දුතිය නාථකරණ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, සනාථ වූවෝ වාසය කරවු, නහමක් අනාථ වවු. මහණෙනි, අනාථ වූයේ දුකසේ වාසය කරයි. මහණෙනි, මේ නාථ කරණ ධර්‍ම දශයෙක, කවර දශයෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. “මේ මහණ එකැතින් සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍රවද්‍යයෙහිදු භය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මේ ය”යි. තෙර මහණහු ද ඔහු කිවයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. මැදි මහණ හුද ... සගමහණහුද ඔහු කිවයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. තෙරුන් විසින් අනුකම්පිත - මැදි මහණුන් විසින් අනුකම්පිත- සග මහණුන් විසින් අනුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නොවේ. මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
2. තවද මහණෙනි, මහණ බහුශ්‍රුත වෙයි. ... දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්. “එකැතින් මේ මහණ බහුශ්‍රුත ය, ශ්‍රැතධර ය, ශ්‍රැතසන්තිචයෙක්, ආදිකල්‍යාණ ... සාර්‍ත්‍ථ, සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ, පරිශුද්ධ, බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම් එබඳු ධර්‍මයෝ මොහු විසින් බහුශ්‍රැතයහ, ධෘතයහ, වචනයෙන් පරිචිතයහ, සිතින් අනුප්‍රේක්‍ෂිතයහ. දිටුහයෙන් මොනොවට පිළිවිදුනහ”යි ස්ථිවිර භික්‍ෂූහු ද ඔහු කියයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාසයිතව්‍ය කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්‍යාණ සම්ප්‍රවඞ්කයෙක් වෙයි. “මේ මහණ එකැතින් කලණ මිතුරන් ඇතියෙක්, කලණ යහළුවන් ඇතියෙක්, කල්‍යාණ සම්ප්‍රවඞ්කැ”යි ස්ථවිර භික්‍ෂූහු දු ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නොවේ. මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
4. තවද මහණෙනි, මහණ සෞවචස්සකාර ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකියේ අනුශාසනාව පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වෙයි. “එකැතින් මෙ මහණ සුවචය, සෝවචස්සකාර ධර්‍මයෙන් සමන්‍වාගතයෙක. සැහිය සැකියෙක, පැදකුණින් අනුසස්න ගන්නා සුල්ලෙකැ”යි ස්ථවිර භික්‍ෂූහුද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘධියෙක් ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් කුදු මහත් කුමුකරණී වෙත් නම් එහි දක්‍ෂ වූයේ අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූයේ කිරීමට සුදුසු වෙයි. සංවිධානයට සුදුසු වෙයි, “එකැතින් මේ මහණ සබ්‍රම්සරුන්ගේ යම් ඒ කුදු මහත් කුමුකරණීහු වෙත් නම් එහි දක්‍ෂ වූයේ අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූයේ කිරීමට සමත් වෙයි. සංවිධාන කිරීමට සමත් වේ යයි ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.