10. 1. 2. 7.
ප්‍රථම නාථකරණ සූත්‍රය
මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්:
1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂූ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ සිල්වත් වේ ද … සමාදන් කොටගෙන ශික්‍ෂාපදයන්හි හික්මේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
2. තවද මහණෙනි, මහණ ශ්‍රැතධර වූයේ මුළු කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදියෙහි කලණ වූ මධ්‍යයෙහි කළණ වූ පර්‍ය්‍යවසානයෙහි කළණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ඒ දහම් කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය කියත් නම්, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බහුශ්‍රුත වෙත්, වචනයෙන් ධෘත වෙත්, පරිචිත වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥා දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්, මහණෙනි, යම් හෙයෙකින් මහණ බහුශ්‍ර වේ නම් ... දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත් නම්, මෙ දහම ද නාථකරණ වෙයි.
3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්‍යාණ සම්ප්‍රවඞ්ක වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කල්‍යාණ සම්ප්‍රවඞ්කයෙක් වේ නම්, මේ ද නාථකරණ ධර්‍මයෙකි.
4. තවද මහණෙනි, මහණ සුවච බව කරන ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකියේ පැදකුණෙන් අනුශාසනය පිළිගන්නා සුල්ලේ සුවච වේ. මහණෙනි, යම් හෙයකින් මහණ සෝවචස්ස කරණ ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකිසේ අනුසස්න පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් කුදුමහත් කුම්කරණීහු වෙත් නම් එහි අනලස වූයේ තත්‍රෝපායඥානයෙන් සමන්‍වාගත වූයේ කරනට සමත් වූයේ සංවිධානයට සුදුසු වූයේ දක්‍ෂ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සබ්‍රම්සරුන්ගේ කුදුමහත් යම් කුම්කරණීහු වෙත් නම්, එහි අනලස වූයේ තත්‍රෝපායඥානයෙන් සමන්‍වාගත වූයේ කිරීමට සමත් වූයේ සංවිධානයට සුදුසු වූයේ දක්‍ෂවේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
6. තවද මහණෙනි, මහණ තෙවළා දහම් කැමැතියේ පරහට දහම් දෙසනු කැමැතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍යය ඇතියේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ දහම් කැමැතියේ පරහට ප්‍රිය දේශනා ඇතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍යය ඇතියේ වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
7. තවද මහණෙනි, මහණ අකුසල් දහමුන්ගේ ප්‍රහාණය සඳහා කුසල් දහමුන්ගේ උපසම්පත් සඳහා ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ වාසය කරයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ අකුසල් දහමුන්ගේ ප්‍රහාණය සඳහා කුසල් දහමුන්ගේ උපසම්පත් සඳහා ඇරඹු වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළ පැරකුම් ඇතියේ කුසල් දම්හි නො බහා තැබූ වැර ඇතියේ වාසය කෙරේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙක.
8. තවද මහණෙනි, මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වෙයි. මහණෙනි, යම්හෙයෙකින් මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
9. තවද මහණෙනි, මහණ සිහි ඇතියේ පරම ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාසිතයත් සමරනුයේ අනුස්මරණ කරනුයේ වෙයි. මහණෙනි. යම් හෙයෙකින් මහණ සිහි ඇතියේ පරම ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාසිතයත් සමරනුයේ අනුස්මරණ කරනුයේ වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.