10. 1. 2. 6.
ආහුනෙය්ය සූත්රය
මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන ආහුනාර්හ ද ප්රාඝුණාර්හ ද දක්ෂිණාර්හ ද අඤ්ජලිකරණාර්හ ද ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්රද වෙත්. කවර දස දෙනෙක යත්:
තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයහ, ප්රත්යෙක බුද්ධයහ, උභතෝ භාග විමුක්ත ය, ප්රඥා විමුක්ත ය, කායසාක්ෂී ය, දෘෂ්ටිප්රාප්ත ය, ශ්රද්ධාවිමුක්ත ය, ධර්මානුසාරී ය, ශ්රද්ධානුසාරී ය, ගෝත්රභූ යි.
මහණෙනි, මේ දස පුඟුල්හු ආහුනාර්හ, ප්රාඝුණාර්හ, දක්ෂිණාර්හයහ, අඤ්ජලිකරණීයහ, ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්ර යි.
10. 1. 2. 7.
ප්රථම නාථකරණ සූත්රය
මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්ම දශයෙක; කවර දසයෙක යත්:
1. මහණෙනි, මෙසස්නෙහි භික්ෂූ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ සිල්වත් වේ ද … සමාදන් කොටගෙන ශික්ෂාපදයන්හි හික්මේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙකි.
2. තවද මහණෙනි, මහණ ශ්රැතධර වූයේ මුළු කොටගත් ශ්රැත ඇතියේ බහුශ්රුත වෙයි. ආදියෙහි කලණ වූ මධ්යයෙහි කළණ වූ පර්ය්යවසානයෙහි කළණ වූ සාර්ත්ථ වූ සව්යඤ්ජන වූ යම් ඒ දහම් කෙනෙක් කේවල පරිපූර්ණ පරිසුද්ධ බ්රහ්මචර්ය්යය කියත් නම්, ඔහු විසින් එබඳු ධර්මයෝ බහුශ්රුත වෙත්, වචනයෙන් ධෘත වෙත්, පරිචිත වෙත්, මනසින් අනුප්රේක්ෂිත වෙත්, ප්රඥා දෘෂ්ටියෙන් සුප්රතිවිද්ධ වෙත්, මහණෙනි, යම් හෙයෙකින් මහණ බහුශ්ර වේ නම් ... දෘෂ්ටියෙන් සුප්රතිවිද්ධ වෙත් නම්, මෙ දහම ද නාථකරණ වෙයි.
3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්යාණ සම්ප්රවඞ්ක වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කල්යාණ සම්ප්රවඞ්කයෙක් වේ නම්, මේ ද නාථකරණ ධර්මයෙකි.
4. තවද මහණෙනි, මහණ සුවච බව කරන ධර්මයන්ගෙන් සමන්වාගත වූයේ සැහිය හැකියේ පැදකුණෙන් අනුශාසනය පිළිගන්නා සුල්ලේ සුවච වේ. මහණෙනි, යම් හෙයකින් මහණ සෝවචස්ස කරණ ධර්මයෙන් සමන්වාගත වූයේ සැහිය හැකිසේ අනුසස්න පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙකි.