10. 1. 2. 5.
අප්‍රමාද සූත්‍රය
1. මහණෙනි, අපාද වෙත්වයි ද්විපාද වෙත්වයි චතුෂ්පාද වෙත්වයි බහුප්පාද වෙත්වයි රූපී වෙත්වයි අරූපී වෙත්වයි සංඥී වෙත්වයි අසංඥී වෙත්වයි නෛවසංඥීනාසංඥී වෙත්වයි යම් තාක් සත්ත්‍වයෝ වෙත් නම්, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ උනට අග්‍රහයි කියනු ලබත්. මහණෙනි, එපරිදි ම යම් කිසි කුශල ධර්‍මකෙනෙක් වෙත් නම් උහු හැම අප්‍රමාදය මුල් කොට ඇතියාහු අප්‍රමාදයෙහි වැද ගන්නාහු වෙත්. ඒ දහමුනට අප්‍රමාදය අග්‍රයයි කියනු ලැබේ.
2. මහණෙනි, ජඞ්ගම ප්‍රාණයන්ගේ යම්බඳු පද ජාතයෙක් ඇත් ද එ හැම ඇත් පියෙහි සමවධානයට යෙත්. ඇත් පිය උනට අග්‍රයි කියනු ලැබේ. මහත් බැවින. මහණෙනි, එ පරිදිම යම් කිසි කුසල් දම්හු වෙත් නම්, එ හැම අප්‍රමාද මූලක වූවාහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. ඒ ධර්‍මයනට අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ.
3. මහණෙනි, යම් පරිදි කුළාරගෙහි යම් බඳු ගොනැස්හු වෙත් නම් එ හැම කූටඞ්ගම වූවාහු කූටනිම්න වූවාහු කූටයෙහි බැසගන්නාහු වෙත්. ඔවුනට කූටය අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එ පරිදි ම යම් කිසි කුශල ධර්‍මයෝ වෙත් නම් ඔහු හැම අප්‍රමාද මූලක වූවාහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. අප්‍රමාදය ඔවුනට අග්‍ර යි කියනු ලැබේ.
4. මහණෙනි, යම් පරිදි කිසි මූලගන්‍ධ කෙනෙක් වෙත් නම්, කළු අගිල් උනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
5. මහණෙනි, යම් පරිදි යම් කිසි සාර (හර) ගන්‍ධ කෙනෙක් වෙත් ද, රත්සඳුන් ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
6. මහණෙනි, යම් පරිදි යම් කිසි පුෂ්පගන්‍ධ කෙනෙක් වෙත් නම්, දෑසමන් ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
7. මහණෙනි, යම් පරිදි කිසි කුඩා රජකෙනෙක් වෙත් නම්, ඔහු හැම සක්විති මහරජු අනුයන්තෘහු වෙත්. සක්විති රජ ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
8. මහණෙනි, තාරක රූපයන්ගේ යම් බඳු ප්‍රභායෙක් වේ නම් එ හැම චන්‍ද්‍රප්‍රභාවගේ සොළොස් වන කලාවට නො අගී. චන්‍ද්‍ර ප්‍රභාව ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
9. මහණෙනි, යම් පරිදි සරාකල්හි පහවූ වලාකුළු ඇති පහන් අහස්හි අහසට නගනා හිරු ආකාශගත හැම අඳුරු නසා බබළා ද තවා ද රස් විහිදුවා ද මහණෙනි, එපරිදි ම ...
10. මහණෙනි, යම් පරිදි ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභූ ය, මහී ය යන යම් කිසි මහානදීහු වෙත් නම්, ඔහු හැම මුහුදට යන්නාහු සමුද්‍රනිම්න වූවාහු සමුද්‍ර ප්‍රවණ වූවාහු සමුද්‍ර ප්‍රාග්භාර වූවාහු වෙත්. මහ සමුදුර ඔවුනට අග්‍රයි කියනු ලැබේ. මහණෙනි, එපරිදි ම යම් කිසි කුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු හැම අප්‍රමාදය මූලක වූහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. අප්‍රමාදය ඒ ධර්‍මයනට අග්‍රය යි කියනු ලැබේ යි.
10. 1. 2. 6.
ආහුනෙය්‍ය සූත්‍රය
මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන ආහුනාර්‍හ ද ප්‍රාඝුණාර්‍හ ද දක්‍ෂිණාර්‍හ ද අඤ්ජලිකරණාර්‍හ ද ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රද වෙත්. කවර දස දෙනෙක යත්:
තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයහ, ප්‍රත්‍යෙක බුද්ධයහ, උභතෝ භාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂී ය, දෘෂ්ටිප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය, ගෝත්‍රභූ යි.
මහණෙනි, මේ දස පුඟුල්හු ආහුනාර්‍හ, ප්‍රාඝුණාර්‍හ, දක්‍ෂිණාර්‍හයහ, අඤ්ජලිකරණීයහ, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර යි.