10. 1. 2. 3.
සංයෝජන සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, මේ දශ සංයෝජනයෙකි. කවර දශයෙක යත්; ඕරම්භාගිය සංයෝජන පසෙක, උද්ධම්භාගිය සංයෝජන පසෙකැයි.
පඤ්චෝරම්භාගිය සංයෝජන කවර; සක්කායදිට්ඨිය, විචිකිච්ඡාය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්‍දය, ව්‍යාපාද යි. මොහු පඤ්චෝරම්භාගිය සංයෝජන යි.
උද්ධම්භාගිය සංයෝජන පස කවර; රූපරාගය, අරූපරාගය, මාන ය, උද්ධච්චය, අවිජ්ජා යි. මොහු පඤ්චුද්ධම්භාගිය සංයෝජන යි. මහණෙනි, මොහු දශ සංයෝජන වෙති යි.
10. 1. 2. 4.
චේතෝඛිල සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, යම් කිසි මහණක්හුගේ වේවයි මෙහෙණකගේ වේවයි පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ නුසුන්හු ද, ඔහට යම් රැයක් වේවයි දිනක් වේවයි පැමිණේ නම් කුසල ධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
ඔහුගේ කවර පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරනේය, විචිකිච්ඡා කරනේය, නිශ්චයට නො යෙයි. නො පහදනේ ය. මහණෙනි, යම් ඒ මහණෙක් ශෘස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො යේ ද, නො පහදී ද, ඔහු සිත ආතප්පයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝකිලය අප්‍රහීණ වෙයි.
තවද මහණෙනි, මහණ ධර්‍මය කෙරෙහි සැක කෙරෙයි, ... සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, ... ශික්‍ෂායෙහි සැක කෙරෙයි. ... සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැත්තේ හටගත් හුල් ඇතියේ වෙයි. ඔහු සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පඤ්චම චේතෝඛිලය අප්‍රහීණ වෙයි. මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත්.
ඔහුගේ කවර කවර පඤ්ච චේතෝවිනිබන්‍ධ කෙනෙක් නුසුන් වෙත් ද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි පහ නොවූ රාග ඇතියේ පහ නොවූ ඡන්‍ද ඇතියේ පහ නොවූ ප්‍රේම ඇතියේ පහ නොවූ පිපාසා ඇතියේ පහ නොවූ පරිදාහ ඇතියේ පහ නොවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයන්හි අවීතරාග වේ ද, අවීගතඡන්‍ද වේ ද, අවිගත පෙම වේද, අවිගත පිපාසා වේ ද, අවිගත පරිදාහ වේ ද, අවිගත තණ්හා වේ ද, ඔහු සිත ආතප්පයට, අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධානයට නො නැමේ නම්, මෙසේ මේ ඔහුගේ ප්‍රථම චේතෝ විනිබන්‍ධය නුසුන් වෙයි.