10. 1. 2. 2.
පඤ්චඞ්ග සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, පඤ්චාඞ්ගවිප්‍රහීණ වූ පඤ්චාඞ්ගසමන්‍වාගත මහණ මේ ධර්‍මවිනයෙහි සකලගුණසමන්‍වාගත වුසූබඹසර ඇති උත්තමපුරුෂ යි කියනු ලැබේ.
මහණෙනි, මහණ කෙසේ පඤ්චාඞ්ගවිප්‍රහීණ වේ ද යත්;
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථිනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡා ප්‍රහීණ වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චාඞ්ගප්‍රහීණ වෙයි.
මහණෙනි, කෙසේ මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත වේ ද යත්;
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
මහණෙනි, පඤ්චාඞ්ගවිප්‍රහීණ පඤ්චාඞ්ගසමන්‍වාගත මහණ තෙම මෙ සස්නෙහි සකලගුණ සමන්‍වාගත වුසූ බඹසර ඇති උත්තමපුරුෂ යයි කියනු ලැබේ.
1. කාමච්ඡන්‍දය, ව්‍යාපාදය, ථිනමිද්ධය, උද්ධච්චකුක්කුච්චය, විචිකිච්ඡාය යන මේ මහණහට සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යමාන වේ ද
2. අශෛක්‍ෂ්‍යශීලයෙනුදු අශෛක්‍ෂ්‍යසමාධියෙනුදු විමුක්තියෙනුදු අශෛක්‍ෂ්‍ය විමුක්තිඥානදර්‍ශනයෙනුදු සමන්‍වාගත එබඳු වූ -
3. පඤ්චාඞ්ගසම්පන්න වූ හේ පඤ්චාඞ්ගයන් හරනේ මේ ධර්‍ම විනයෙහි කේවලී යි කියනු ලැබේ.
10. 1. 2. 3.
සංයෝජන සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, මේ දශ සංයෝජනයෙකි. කවර දශයෙක යත්; ඕරම්භාගිය සංයෝජන පසෙක, උද්ධම්භාගිය සංයෝජන පසෙකැයි.
පඤ්චෝරම්භාගිය සංයෝජන කවර; සක්කායදිට්ඨිය, විචිකිච්ඡාය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්‍දය, ව්‍යාපාද යි. මොහු පඤ්චෝරම්භාගිය සංයෝජන යි.
උද්ධම්භාගිය සංයෝජන පස කවර; රූපරාගය, අරූපරාගය, මාන ය, උද්ධච්චය, අවිජ්ජා යි. මොහු පඤ්චුද්ධම්භාගිය සංයෝජන යි. මහණෙනි, මොහු දශ සංයෝජන වෙති යි.