පාරාජීකාදී ආපත්ති
1. පාරාජික යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: ශාසනයෙන් ච්යුත වී ද පැරැදුනේ ද, ගිලිහුණේ ද, දුරුකරණ ලද්දේ ද, ඔහු කෙරෙහි (උපෝසථ පවාරණාදී විසින්) සමග විසීමෙක් ද නැති. එහෙයින් මෙය පරිජි යැ යි කියනු ලැබේ.
2. සඞ්ඝාදිසේස යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: සඞ්ඝයා ම පිරිවෙස් දෙයි. මූලායපටිකස්සන කර්මය කෙරෙයි. මානත දෙයි. අබ්භාන කර්මය කෙරේ. (සඞ්ඝයා මුල මැද අග යන තුන් තැන ම කැමති විය යුතු ය යන) ඒ අර්ත්ථයෙන් තෙල ඇවැත සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
3. අනියත යැ යි යමක් කියනලද ද, එය අසව. කිසේ යැ යත්: නියත නැත්තේ අනියත නමි. නියම නො කරණ ලද සිකපද යයි. (පරිජි-සඟවෙසෙස්-පචිති යන) තුන් ඇවතින් එක්තරා ඇවැතකට පැමිණේ ද, (එහෙයින්) අනියත යැ යි කියනු ලැබේ.
4. ථුල්ලච්චය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: යමෙක් එකක්හුගේ සමීපයෙහි ඇවැත් දෙසයි ද, යමෙකුත් එය පිළිගණී ද එය හා සම වූ (අන් දේසනාගාමිනී) ඇවැතෙක් නැත් ද, එහෙයින් තෙල ථුල්ලච්චය යි කියනු ලැබේ.
5. නිස්සග්ගිය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: සඟමැද හෝ ගණමැද හෝ එකක්හු වෙතැ හෝ එක් වැ නිසදා ඇවැත් දෙසා ද, එබැවින් තෙල නිස්සග්ගියැ යි කියනු ලැබේ.
6. පාචිත්තිය යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: කුසලචිත්තය හෙළා ද ආර්ය්යමාර්ගය වරදවා ද සිත මුළාකිරීමට කරුණු වේ ද, එබැවින් තෙල පාචිත්තිය යි කියනු ලැබේ.
7. පාටිදේසනීය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: භික්ෂු තෙම නොනෑ වූයේ දුකසේ ලද තැනැත්තියගේ බොජුනක් තෙමේ ගෙණ වළඳනේ ද ඒ ගර්හා කටයුතු යැ යි කියනු ලැබේ.
8. නිමන්ත්රණයන්හි වළඳන්නහු එහි දී මෙහෙණක් තොමෝ රුචියෙන් (“ඉධ ඕදනං දෙථ” යනාදීන්) විධාන කෙරේ නම් එහි දී (“අපසක්ක තාව භගිනී” යනාදීන්) නො වළකා වළඳන්නේ වේ ද ඒ ගර්හා කටයුතු යයි කියනු ලැබේ.
9. ස්වල්ප සම්පත් ඇති නැළියකට වඩා වී නැති දිළිඳු වූ සැදැහැසිත් ඇති සේඛ කුලයකට ගොස් නො ගිලන් වැ එහි වළඳා නම් ගර්හා කටයුතු යයි කියනු ලැබේ.
10. යම් මහණෙක් සැකසහිත වූ බියසහිත වූ වනයෙහි ඉදින් වසන්නේ එහි දී පෙරැ නො දන්වන ලද භෝජනය අනුභව කෙරේ නම් ගර්හා කටයුතු යයි කියනු ලැබේ.
11. මෙහෙණක් තොමෝ නොනෑ වූවා අනුන් විසින් මමත්වය කරණලද ගිතෙල් තෙල් මී පැණි දියමස් ගොඩමස් කිරි දිහි තොමෝ විනවා පරිභෝග කෙරේ නම් බුදුසසුන්හි ගැරහියයුතු බවට පැමිණියා වෙයි.
12. දුක්කට යැ යි යමක් වදාරණ ලද ද, එය අසව කිසේ යැ යත්: නපුරු කොට කරණලද්දෙක් වරදවා කරණලද්දෙක් පමාදොසෙක් යම් (එබඳුවූ) දුෂ්කෘතයෙක් වේ ද,
13. මිනිස් තෙම එළියෙහි හෝ රහස්හි හෝ යම් පවක් කරන්නේ (එය) දුක්කට යැ යි (නුවණැත්තෝ) පවසත් ද, එහෙයින් මෙය දුක්කට යැ යි කියනු ලැබේ.
14. දුබ්භාසිත යැ යි යමක් කියන ලද ද, එය අසව, කිසේ යැ යත්: යම් හෙයකින් නපුරු කොට කියනලද සකිළිටු වූ යම්බඳු වචනයකට දුඛභාසිත යැ යි නුවණැත්තෝ ගරහත් ද, එහෙයින් මෙයද දුබ්භාසිත යැ යි කියනු ලැබේ.
15. සේඛියා යැ යි යමක් කියනලද ද, එය අසව, කිසේ යැ යත්: ඍජුමාර්ගය අනුව හැසිරෙණසුලු වූ (උපරිගුණාධිගමය සඳහා) හික්මෙන්නා වූ ශෛක්ෂ පුද්ගලයාහට.
16. තෙල සේඛියාව මුල් වෙයි, යළි පාදය ද වෙයි, ප්රමුඛද්වාරය වෙයි, සන්හිඳීම වෙයි, සංවරය වේ. එහෙයින් ම මේ හා සමාන වූ සිඛයෙක් නැති. මෙකරුණෙන් මෙය සේඛියා යි කියනු ලැබේ.
17. ඇවැත් (සඞ්ඛ්යාත ගෙය) සොයන ලදුයේ අතිශයින් කෙලෙස් වැසි වසියි, විවෘත වූයේ කෙලෙස් වැසි නො වසියි, එහෙයින් පිළිසන් ඇවැත විවෘත කරන්නේ යැ. එසේ ඇති කල්හි කෙලෙස් වැසි නො වසී.
18. මෘගයනට වනලැහැබ පිළිසරණ වෙයි, පක්ෂීනට අහස පිළිසරණ වෙයි, සියලු සඞ්ඛත ධර්මයනට (ඔවුනතර) නොවීම පිළිසරණ (අස්වැසීම) වෙයි, රහත්හට (අනුපාදිශේෂ) නිර්වාණධාතුව එකැතින් පිළිසරණ වේ.
ගාථාසඩ්ගණිකය නිමි.
එහි නාමාවලිය:
1. සප්ත නගරයෙහි පැණවූ සිකපද ද විපත්ති සතර ද භික්ෂු - භික්ෂුණීන් පිළිබඳ වූ සාධාරණ අසාධාරණ සිකපද ද ඇතුළත් මේ ගාථා සඞ්ඝණිකය ශාසනානුග්රහය පිණිස වේ.