විනයපිටකයෙහි
පාරාජිකපාළිය
භික්‍ෂුවිභඞ්ගය
වේරඤ්ජකාණ්ඩය
1.
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වේරඤ්ජාව සමීපයෙහි නළේරු කොසඹගස මුල පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග වැඩ වෙසෙන සේක. වේරඤ්ජබ්‍රාහ්මණ තෙමේ (මෙය) ඇසීය: “පින්වත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ පන්සියක් පමණ වූ මහසඟන සමග වේරඤ්ජානුවර නළේරු කොසඹරුක මුල වැඩ වෙසෙති. ඒ භවත් ගෞතමයන්ගේ කලණ වූ කීර්‍තතිරාවය මෙසේ පැන නැංගේ ය: “ඒ භාග්‍යවත් තෙමේ මේ මේ කරුණෙන් කෙලෙස්සතුරන් නැසුවෙක; සම්‍යක්සම්බුද්ධ ය; විද්‍යාචරණධර්‍මයන්ගෙන් යුක්ත ය; මනා ගමන් ඇත්තෙක; සව්ලෝ දත්තෙක; නිරුත්තර වූ පුරුෂදම්‍යසාරථි ය; දෙව්මිනිසුන්ගේ අනුශාසක ය; සව්නේ දත්තෙක; භගවත් ය. ඒ භාග්‍යවත් තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශ ලෝකය හා මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ සත්ත්‍ව ලෝකය ද තෙමේ මනා නුවණින් දැන පසක් කොට පවසයි. හෙ තෙමේ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ දහම් දෙසයි. (මෙසේ) සසුන් බඹසර හා මගබඹසර ද පවසයි. එබඳු රහතුන් දැකීම මැනැව” යනුයි.
2. ඉක්බිති වේරඤ්ජබමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිතෙහි රැඳවිය යුතු වූ කථාව කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නා වූ වේරඤ්ජබමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “භවත් ගෞතමයෙනි, මා විසින් මෙය අසන ලදී: ‘භවත් ගෞතමයෝ ජරාවට පත් වූ වෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පැසුළුවියට පත් බමුණන් නො වඳිති. පෙරගමන් නො කෙරෙති. අසුනෙන් හෝ නො පවරති’යි. භවත් ගෞතමයෙනි, ඒ කාරණය එසේ මය. භවත් ගෞතමයෝ ජරාවට පත් වූ වෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පැසුළුවියට පත් බමුණන් නො වඳිති. නැගිට පෙර ගමන් නො කරති. අස්නෙන් හෝ නො පවරති. භවත් ගෞතමයෙනි, මේ කාරණය සුදුසු නො වෙයි.”
3. “බ්‍රාහ්මණය, මම යම් පුද්ගලයකුට වඳිම් ද, නැගිට පෙර ගමන් කෙරෙම් ද, අස්නෙන් හෝ පවරම් ද, එබඳු පුද්ගලයකු දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි ද නො ම දකිමි. බ්‍රාහ්මණය, යම් පුද්ගලයකුට තථාගත තෙමේ වඳී නම් හෝ, නැගිට පෙර ගමන් කෙරේ නම් හෝ, අසුනෙන් පවරා නම් හෝ, ඔහුගේ හිස ද ගෙලෙන් ගිලිහෙයි.
4. “භවත් ගෞතමයෝ රසවිරෝධිහු”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ රස විරෝධිහුය යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ ද, ඒ කාරණය මා කෙරෙහි විද්‍යමාන වේ ම ය. බමුණ, යම් ඒ රූපාස්වාදයෝ ශබ්දාස්වාදයෝ ගන්‍ධාස්වාදයෝ රසාස්වාදයෝ ස්ප්‍රෂ්ටව්‍යාස්වාදයෝ වෙද්ද, ඒ ආස්වාද (රසයෝ) තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදහ. සිඳුනා ලද මුල් ඇතියහ. මුදුන සුන් තල් රුකක් මෙන් කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාවය ඇතියහ. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ රසවිරෝධිහුය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි ද, ඒ කාරණය නො වේ.”
5. “භවත් ගෞතමයෝ පරිභෝග රහිතයෝ යයි”. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘පරිභෝග රහිතයෝ යැ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ කාරණය මා කෙරෙහි විද්‍යමාන වේ ම ය. බමුණ, යම් ඒ රූපපරිභෝගයෝ, ශබ්දපරිභෝගයෝ ගන්‍ධපරිභෝගයෝ, රසපරිභෝගයෝ, ඵොට්ඨබ්බපරිභෝගයෝ වෙද්ද, ඔහු තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇතියහ. මුදුන සුන් තල්ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ පරිභෝග රහිතයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි ද, ඒ කාරණය නො වේ.”