පරිවාර පාළිය
මහාවිහඞ්ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
1. කත්‍ථපඤ්ඤත්තිවාරය
1. 1.
පාරාජික කාණ්ඩය
ශික්‍ෂා පැණවීමෙහි කල් දන්නා වූ ශික්‍ෂා පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පළමු පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතන්හි පණවන ලද ද, කවරක්හු ඇරැබැ පණවන ලද ද, කිනම් වස්තුවෙක්හි පණවන ලද ද, එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද, සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද, සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද, ඒකතෝ පඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද, පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොතන්හි පිහිටියේ ද, කොහි ඇතුළත් ද, කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද, සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් වේ ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද, එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම, විපත්ති කවර, සම්පත්ති කවර, ප්‍රතිපත්ති කවර, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු පරිජි සිකපදය පණවන ලද ද, කවුරු හික්මෙද්ද, කවුරු හික්මුණු සිඛ ඇති යෝ ද, කවුරුන් කෙරෙහි පිහිටියේ ද, කවුරු දරද් ද, කවරක්හුගේ වචනයෙක් ද, කවරක්හු විසින් ගෙන එන ලද යැ යත් :
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පළමු පරිජි සිකපදයෙක් පණවනලද යැ, එය කොතැන්හි පණවන ලද යැ යත්: විසල්පුරෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැ පණවන ලද යැ යත්: සුදින්න කලන්‍ද පුත්‍රයා ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි යැ යත්: සුදින්න කලන්‍දපුත්‍ර පළමු තම භාර්‍ය්‍යයාව සමඟ මෙවුන්දම් සෙවී යැ, ඒ වස්තුවෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකැ, අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යි.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: සාධාරණපඤ්ඤත්ති යි.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති යැ යත්: උභතෝපඤ්ඤත්ති යි.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ, කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: දෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: සීලවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: එක් සමුට්ඨානයෙකින් නගියි: කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙකැ යත්: ආපත්තාධිකරණ යි.
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ යැ යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
එහි විනය කවරේ යැ, එහි අභිවිනය කවරේ යැ යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනය අභිවිනය යි.
එහි ප්‍රාතිමෝක්‍ෂය කිමැ, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යැ යත්: පඤ්ඤත්තිය ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
විපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
සම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
ප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නොකරමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
3. කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් පළමුපරිජිසිකපදය පණවන ලද යැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් පළමුපරිජිසිකපදය පණවන ලද: සඞ්ඝයා ගේ මනාබව පිණිස යැ. සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්දයුතු දුක්ගැහැට වැළැක්වීම පිණිස යැ, පරලෙව්හි වින්දයුතු දුක්ගැහැට නසනු පිණිස යැ, නො පහන් පුඟුලන්ගේ පැහැදීම පිණිස යැ, පහන් පුඟුලන් බෙහෙවින් පැහැදීම පිණිස යැ, තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ, විනයට අනුග්‍රහ පිණිස යි.
කවුරු හික්මෙති යත්: ශෛක්‍ෂයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හික්මෙත්.
කවුරු ශික්‍ෂිතශික්‍ෂා ඇතියෝ යැ යත්: රහත්හු ශික්‍ෂිත ශික්‍ෂා ඇතියෝ යි.
කවුරුන් කෙරෙහි පිහිටියේ යැ යත්: ශික්‍ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යැ.
කවුරු දරති යත්: යම් කෙනකුන්හට විනයපෙළ අටුවා වනපොත් ඇද් ද, ඔහු දරත්.
කවරක්හුගේ වචනයෙකැ යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචන යි.