ගාථාසඞ්ගණිකය
1. සිවුර එකස් කොට පෙරැ වැ ඇඳිලි බැඳ ගෙණ කිසිවක් පතන්නකු සේ තෙපි කුමට මෙහි අවු ද?
2. (භික්ෂු-භික්ෂුණී) උභය විනයයෙහි පණවන ලද යම් සිකපද කෙනෙක් පෙහෙවස් දිනයන්හි උදෙසීමට එත් ද, ඒ සිකපදයෝ කෙතෙක-කෙතෙක් නගරයන්හි පණවන ලදහු වෙත් ද?
3. තොපගේ උන්මාර්ගය (ප්රඥාව) අවිද්යාන්ධකාරයෙන් ඉල්පී සිටි බැවින් සුන්දර යැ. නුවණින් විචාරහු, එහෙයින් මම තොපට දක්ෂයකු සෙයින් පවසන්නෙමි.
4. යම් සිකපද කෙනෙක් උභය විනයයෙහි පණවන ලද්දාහු පෙහෙවස් දිනයන්හි උදෙසීමට පැමිණෙත් ද, ඔහු තුන් සිය පනසෙක් වෙති. නගර සතෙකැ පණවන ලද්දාහ.
5. කවර නගර සතෙක දී පණවන ලදහු දැයි ඔබ මට විසඳා පවසනු මැනවි, ඒ වදන් මග අසා පිළිපදිමු. එය අපට හිත පිණිස වන්නේ යැ.
6. විසල් පුරයෙහි දී ද රජගහ නුවර දී ද සැවැත් නුවර දී ද අළව් පුරයෙහි දී ද කොසඹෑ නුවර දී ද ශාක්ය දනවුහි ද භගු දනවුහි ද පණවන ලදහු.
7. විසල් පුරයෙහි දී කෙතෙක් සිකපදයෝ පණවන ලදහු ද? රජගහ නුවරදී කෙතෙක් පණවන ලදහු ද? සැවැත් නුවර දී පණවන ලද ශික්ෂාවෝ කෙතෙක් වෙද්ද, අළව් පුරයෙහි දී කෙතෙක් පණවන ලදහු ද?
8. කොසඹෑ නුවර දී කෙතෙක් පණවන ලදහු ද? ශාක්ය දනවුහි කෙතෙකැ යි කියනු ලැබෙත් ද? භගු දනවුහි කෙතෙක් පණවන ලදහු ද? මා විසින් විචාරණ ලද ඔබ එය මට වදාළ මැනැව.
9. විසල් පුරයෙහිදී සිකපද දසයෙක් පණවන ලදි. රජගහ නුවර දී එක්විස්සෙක් පණවන ලදි. සයකින් අඩු තුන්සියක් හැම ශික්ෂාවෝ සැවැත් නුවර දී පණවන ලදහ.
10. අළව් පුරයෙහි දී සයෙක් පණවන ලදි. කොසඹෑ නුවර දී අටෙක් පණවන ලදි. ශාක්ය දනවුහි අටෙකැ යි කියනු ලැබෙයි, භගු දනවුහි තුනෙක් පණවන ලදි.
11. විසල් පුරයෙහි දී යම් සිකපද කෙනෙක් පණවන ලදහු ද, ඔවුන් මෙසේ අසව: මෛථුන යැ මනුෂ්යවිග්රහ යැ උත්තරිමනුෂ්යධර්ම යැ අතිරේකපාත්ර යැ ශුද්ධකාළක යැ.
12. භූතාරෝචන යැ පරම්පරභෝජන යැ දන්තපොන ය සමග අචේලක යැ භික්ෂුණීන් කෙරෙහි ආක්රොශය දැයි යන මේ දස සිඛය විසල්පුර දී පණවන ලදි.
13. රජගහ නුවර දී යම් සිකපද කෙනෙක් පණවන ලදහු ද, ඔවුන් අසව, කෙසේ යැ යත්: රජගහ නුවර දී අදින්නාදාන යැ අනුද්ධංසනා දෙක යැ.
14. සඞ්ඝභේදකභේදානුවත්තක දෙක යැ අන්තරවාසක යැ රුපියසංවෝහාර යැ (සාමං) සුත්ත යැ උජ්ඣාපනකය සමග (භික්ඛුණි) පරිපාචිත පිණ්ඩ යැ ගණභෝජන යැ විකාලභොජන යැ ගාමචාරිත්ත යැ නහාන යැ ඌනවිසතිවස්ස යැ.
15. චීවර දත්වා යැ චොසාසනක යැ එහි ම ගිරග්ග යැ චාරිකා යැ අපක්කමන යැ ඡන්දදානය සමඟ එක් විස්සක් වූ මේ සිකපදයෝ රජගහ නුවර දී පණවන ලදහ.
16. යම් සිකපද කෙනෙක් සැවැත් නුවර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: මෙහෙණන් පිළිබඳ වූ සිවු පරිජි ද සොළොස් සඟවෙසෙස්හු ද වෙති.
17. අනියත දෙක ද නිසගි සූතිසෙක් ද වෙයි, එක් සිය සපණස් පචිතීහු ද කියනු ලැබෙත්.
18. දස ගාරයහ (පාටිදේසනීය) සිඛ ද, දෙ සැත්තෑ සේඛියා දැයි සැවැතෙහි දී පණවන ලද සියලු සිකපද සයෙකින් අඩු තුන්සියයෙකි.
19. යම් සිකපද කෙනෙක් අළව්පුර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: සඤ්ඤාචිතකුටි යැ, කෝසිය යැ සහසෙය්ය යැ, පඨවඛණන යැ, භූතගාම යැ, සප්පාණකසිඤ්චන යැයි තෙල ස සිඛයෝ අළව් පුර දී පණවන ලදහ.
20. යම් සිකපද කෙනෙක් කොසඹෑ නුවර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: මහල්ලකවිහාර යැ, දෝවචස්ස යැ, අඤ්ඤවාදක යැ, යාවද්වාරකෝස යැ, සුරාපාන යැ, අනාදරිය යැ, සහධම්මික යැ, සුරුසුරුකාරකයෙන් අටවැනි වූ සිකපද යි.
21. යම් සිකපද කෙනෙක් ශාක්ය ජනපදයෙහි දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: එළකලෝම ධෝවන යැ, ඌනපංචබන්ධන යැ, භික්ඛුනෝවාද යැ, භේසජ්ජ විඤ්ඤපන යැ.
22. සුචිඝර යැ, ආරඤ්ඤක යැ, මෙහෙණන් කෙරෙහි වූ උදකශුද්ධිකය සමඟ ඕවාද යැ යි යන තෙල අට සිඛය කිඹුල්වත් නුවර දී පණවන ලදැයි කියනු ලැබේ.
23. යම් සිකපද කෙනෙක් භගුදනවුහි දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: ජෝතිසමාදහන යැ. සාමිසය සමග සසිත්ථකසිඛ යැයි (යන තුන් සිඛය භගුදනවුහි දී පනවන ලදී.)
24. පරිජි සතරෙක් ද සඟවෙසෙස් සතෙක් ද නිසඟි අටෙක් ද පචිති දෙතිසෙක් ද
25. ගාරය්හ දෙකෙක් ද සේඛිය තුණෙක් දැයි සපණස් සිකපද කෙනෙක් සූර්ය්යබන්ධු වූ බුදුන් විසින් නගර සයෙක දී පණවන ලදහ.
26. කාරුණික වූ යශස්වී වූ ගෞතම ගෝත්ර ඇති බුදුරජුන් විසින් සයකින් අඩු සෙසු සියලු තෙසිය සිකපදයෝ සැවැතෙහි දී පණවන ලදහු යි.