චතු විපත්තීහු
1. යම් ඒ (ශික්ෂාපද භේදයක්) විචාළෙමු ද, ඒ භේදය අපට වදාළ සේක. ඒ ඒ සිඛ නො වෙනස් ව පවසන ලදී. ඔබගෙන් අනෙකක් පුළුවුස්මි. එබැවින් එය වදාළ මැනැවැ.
2. ගරුලහු ඇවැත් ද සාවසේස අනවසේස ඇවැත් ද තුළුල් නොතුළුල් ඇවැත් ද යාවතතියක ඇවැත් ද,
3. සාධාරණ අසාධාරණ ඇවැත් ද විපත්ති භේදය ද ශමථ භේදය ද මේ සියල්ල වදාළ මැනැවි. දැන් ඔබගේ වචනය අසමු.
4. (මහණ මෙහෙණන් පිළිබඳ පැණ වූ) යම් ගරු ඇවැත් එක්තිසෙක් වේ ද ඔවුනතුරෙහි අටදෙනෙක් සාවසේස වෙති, යම් ඇවැත් කෙනෙක් ගරුක වෙත් ද ඔහු දුට්ඨුල්ල නම් වෙති, යම් ඇවැත් කෙනෙක් දුට්ඨුල්ල වෙත් ද ඒ සීලවිපත්ති නමු.
5. පරිජි සඟවෙසෙස් සීලවිපත්ති යයි කියනු ලැබේ. ථුලැසි යැ පචිති යැ එසේ ම පිළිදෙස්නි යැ.
6. දුකුළා යැ කෙළි සිනා අදහස් ඇති වැ යම් මේ පුද්ගලයෙක් ගටයා බෙණේ ද මේ දුබැසිය දැයි යන මේ ඇවැත් ආචාරවිපත්ති යි සම්මත යි.
7. අසද්ධර්මයන් විසින් පෙරටු කරණ ලද නුවණ නැත්තා වූ මෝහයෙන් වැසී සිටියෝ මිසදිටුව ගණිත් ද, බුදුරජුන්ට නැතිදොස් පහළ කෙරෙත් ද, මේ දිට්ඨිවිපත්ති යි සම්මත යි.
8. ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලදුයේ තමා කෙරෙහි නැති තමා කෙරෙහි නොවූ උතුරුමිනිස්ධර්ම පවසා ද, ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් සඤ්චරිත්තයට පැමිණේ ද, ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් “තොපගේ වෙහෙරැ යමෙක් වෙසේ ද ඒ මහණ රහත්”යි කියා ද, ආජීව හේතුයෙන් ආජීවකාරණයෙන් මහණ තමා පිණිස පිණිබොජුන් විනවා ගෙණ වළඳා ද, ආජීව හේතුයෙන් - ආජීව කාරණයෙන් මහණෙක් සූප හෝ ඕදන හෝ නොගිලන් වැ තමා පිණිස විනවා ගෙණ වළඳා ද, මේ ආජීවවිපත්ති යි සම්මත යි.
9. යාවතතියක සිඛ එකොළොසෙකැ, ඒ කිසේ යැයි අසව: උක්ඛිත්තානුවත්ත යැ. යාවතතියක අට යැ, අරිට්ඨ යැ, චණ්ඩකාළියැ යන මොහු යාවතතියක සිඛයෝ යි.
ඡේදනකාදීහු
1. සූර්ය්යබන්ධු වූ බුදුරජුන් විසින් පණවන ලද ඡේදනක සිඛ කෙතෙක් ද, භේදනක සිඛ කෙතෙක් ද, උද්දාලනක සිඛ කෙතෙක් ද, අනේඤපචිතිසිඛ කෙතෙක් ද,
2. භික්ෂු සම්මුතිසිඛ කෙතෙක් ද, සාමීචිසිඛ කෙතෙක් ද, පරමසිඛ කෙතෙක් ද, ජානන්තිසිඛ කෙතෙක් ද යත්:
3. සූර්ය්යබන්ධු වූ බුදුරජුන් විසින් පණවනලද ඡේදනකසිඛ සදෙනෙකැ, එක් භේදනක සිඛයෙකැ, එක් උද්දාලනක සිඛයෙකැ, අනඤ්ඤපචිතිසිඛ සතරෙකැ.
4. භික්ෂුසම්මුතිසිඛ සතරෙකැ, සාමීචිසිඛ සතෙකැ, පරමසිඛ තුදුසෙකැ, ජානන්තිසිඛ සොළසෙකි.
අසාධාරණකාදිහු
1. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙති.
2. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
3. මහණුන් පිළිබඳ සසාළිස් සිකපද කෙනෙක් මෙහෙණන් හා අසාධාරණ වෙති. මෙහෙණන් පිළිබඳ එක්සියතිස් සිකපද කෙනෙක් මහණුන් හා අසාධාරණ වෙත්.
4. එක්සිය සසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට අසාධාරණ වෙති. එක්සිය සූසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට සම සිඛයෝ වෙත්.
5. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:
6. සිවු පරිජි ද තෙළෙස් සඟවෙසෙස් ද දෙ අනියත ද තිස් නිසඟි ද, දෙ අනූ පචිති ද, සිවු පිළිදෙස්නීහු ද පන්සැත්තෑ සිඛ කරණීහු ද වෙත්.
7. මහණුන් පිළිබඳ මේ දෙසිය විස්සක් වූ සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
8. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:
9. අට පරිජි ද සතළොස් සඟවෙසෙස්හු ද වෙති. නිසඟි තිසෙක් මැ යි. පචිතිහු එක්සිය සසැටෙකැයි කියනු ලැබෙත්,