ඡේදනකාදීහු
1. සූර්ය්යබන්ධු වූ බුදුරජුන් විසින් පණවන ලද ඡේදනක සිඛ කෙතෙක් ද, භේදනක සිඛ කෙතෙක් ද, උද්දාලනක සිඛ කෙතෙක් ද, අනේඤපචිතිසිඛ කෙතෙක් ද,
2. භික්ෂු සම්මුතිසිඛ කෙතෙක් ද, සාමීචිසිඛ කෙතෙක් ද, පරමසිඛ කෙතෙක් ද, ජානන්තිසිඛ කෙතෙක් ද යත්:
3. සූර්ය්යබන්ධු වූ බුදුරජුන් විසින් පණවනලද ඡේදනකසිඛ සදෙනෙකැ, එක් භේදනක සිඛයෙකැ, එක් උද්දාලනක සිඛයෙකැ, අනඤ්ඤපචිතිසිඛ සතරෙකැ.
4. භික්ෂුසම්මුතිසිඛ සතරෙකැ, සාමීචිසිඛ සතෙකැ, පරමසිඛ තුදුසෙකැ, ජානන්තිසිඛ සොළසෙකි.
අසාධාරණකාදිහු
1. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙති.
2. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
3. මහණුන් පිළිබඳ සසාළිස් සිකපද කෙනෙක් මෙහෙණන් හා අසාධාරණ වෙති. මෙහෙණන් පිළිබඳ එක්සියතිස් සිකපද කෙනෙක් මහණුන් හා අසාධාරණ වෙත්.
4. එක්සිය සසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට අසාධාරණ වෙති. එක්සිය සූසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට සම සිඛයෝ වෙත්.
5. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:
6. සිවු පරිජි ද තෙළෙස් සඟවෙසෙස් ද දෙ අනියත ද තිස් නිසඟි ද, දෙ අනූ පචිති ද, සිවු පිළිදෙස්නීහු ද පන්සැත්තෑ සිඛ කරණීහු ද වෙත්.
7. මහණුන් පිළිබඳ මේ දෙසිය විස්සක් වූ සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
8. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:
9. අට පරිජි ද සතළොස් සඟවෙසෙස්හු ද වෙති. නිසඟි තිසෙක් මැ යි. පචිතිහු එක්සිය සසැටෙකැයි කියනු ලැබෙත්,
10. අට පිළිදෙස්නීහු ද පන්සැත්තෑ සිඛකරණීහු දැයි මෙහෙණන් පිළිබඳ මේ තුන්සිය සතරක් වූ සිකපදයෝ වෙති. ඔහු පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
11. මහණුන් පිළිබඳ සසාළිස් සිකපද කෙනෙක් මෙහෙණන් හා අසාධාරණ වෙති. ඔවුන් අසව, කිසේ යැ යත්:
12. සඟවෙසෙස් සදෙන දෙ අනියතය සමග අටෙකි. නිසඟි දොළොස යැ, ඔහු යථෝක්තයන් හා විස්සක් වෙති.
13. පචිති දෙවිස්සෙකි. පිළිදෙස්නී සතරෙකි. මහණුන් පිළිබඳ මේ සසාළිස් සිඛයෝ මෙහෙණන් හා අසාධාරණ වෙත්.
14. මෙහෙණන් පිළිබඳ එක්සියතිසක් සිකපදයෝ මහණුන් හා අසාධාරණ වෙති. ඔවුන් අසව කිසේ යැ යත්:
15. සතර පරිජි ද සඞ්ඝයා කෙරෙන් බැහැර කටයුතු නිස්සාරණීය නම් වූ දස සඟවෙසෙස් ද දොළොස් නිසඟීහු ද සයානූ සුද්ධ පචිති ද අට පිළිදෙස්නීහු දැයි මෙහෙණන් පිළිබඳ මහණුන් හා අසාධාරණ වූ මොහු එක්සියතිස් සිඛයෝ වෙත්.
16. මහණ මෙහෙණ දෙපසට අසාධාරණ වූ සිඛ එක්සිය සසැත්තෑවෙක් මැ යි ඔවුන් අසව, කිසේ යැ යත්:
17. පරිජි සතරෙක් ද සඟවෙසෙස් සොළසෙක් ද වෙයි. දෙ අනියත ද සූවිසි නිසඟි ද වෙයි.
18. එක්සිය අටළොස් පචිතිහු ද දොළොස් පිළිදෙස්නීහු ද කියනු ලැබෙත්. (මහණ-මෙහෙණ) දෙපසට අසාධාරණ වූ මේ එක්සිය සසැත්තෑ ශික්ෂාවෝ වෙති.
19. මහණ-මෙහෙණ උභය සාධාරණ ශික්ෂාවෝ එක්සියසිවුසැත්තෑ කෙනෙකි. ඔවුන් මෙසේ අසව: කිසේ යැ යත්:
20. සතර පරිජි ද සත් සඟවෙසෙස් ද අටළොස් නිසඟිපචිති ද සම සැත්තෑ සුද්ධ පචිති ද පන්සැත්තෑ සිඛකරණීහු ද යන මේ එක්සිය සිවු සැත්තෑ ශික්ෂාවෝ. මහණ මෙහෙණ දෙපසට සම වෙත්.
21. (සප්රතිභය හෙයින්) දුරාසද වූ (මූලෝච්ඡින්න) තාලවාස්තුවක් වැනි වූ පාරාජිකාපත්තීහු අට දෙනෙක් මැ වෙති. පරිජි අවන් පුඟුල් තෙම පඬුවන්පතක් සේ බිඳුණු ගලක් සේ හිස්සුන් එකක්හු සේ මුදුන් සුන් තලක් සේ වටාලා පියවිබවට නො එයි. එසෙයින් මැ ඒ පාරාජිකාපත්තීහු වටාලා ප්රකෘති භාවයට නො එත්.
22-23. තෙවිසි සඟවෙසෙස් ද අනියත දෙක ද දෙසාළිස් නිසඟි ද, එක්සිය අසූඅටක් පචිති ද දොළොස් පිළිදෙස්නීහු ද, පන්සැත්තෑ සිඛකරණීහු ද යන මොහු සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
24. ජිනරාජයන් වහන්සේ විසින් දෙසන ලද (භික්ෂු-භික්ෂුණි) උපෝසථ දෙක ද පවුරුණු දෙක ද (අධර්මවර්ගාදී) කර්ම සතර ද පාමොක් උදෙසීම් පස ද (භික්ෂුණීන්ගේ වශයෙන්) සතර ද ඇවත් කඳු සතදැයි මොහු අන් පරිද්දකින් නො වෙත්.
25. සතර අධිකරණයෝ සප්ත ශමථයෙන් සන්හිඳෙත්. දෙශමථයෙන් ද සිවු ශමථයෙන් ද තුන් ශමථයෙන් ද සන්හිඳෙත්. කිච්චාධිකරණය එක් ශමථයකින් සන් හිඳෙයි.