5. අධිකරණ පච්චයවාරය
1. විවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: විවාදාධිකරණ හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක්හට (ජාත්යාදියෙන්) ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ. විවාධිකරණ හේතුයෙන් මේ දෙඇවැතට පැමිණේ.
ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාරවිපත්තිසඞ්ඛ්යාත එක් විපතක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති. වචනයෙන් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
2. අනුවාදාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනුවාදාධිකරණහේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: මහණක්හට අමූලිකපාරාජිකා පත්තියෙන් චෝදනා කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අමූලක සඞ්ඝාදිසේසාපත්තියෙන් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි, අමූලක ආචාරවිපත්තියෙන් චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අනුවාදාධිකරණහේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසි විටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
3. ආපත්තාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ආපත්තාධිකරණ හේතුයෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණ දැන දැන පරිජි ඇවැත සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇති වැ සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණ සඟවෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාර විපත්තිය සඟවා නම් දුකුළා ඇවැත් වේ. අපත්තාධිකරණහෙතුයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්ධයෙන් දැයි චතුරාපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහකරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්, සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
4. කිව්චාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කිච්චාධිකරණහෙතුයෙන් පස් ඇවැතකට පැමිණෙයි: උඛෙවුනීකම් කරණු ලැබූවනට අනු වැ වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වෙයි, සඞ්ඝභේදකයා අනු වැ වැටෙන භික්ෂූහු තුන් යළතෙක් සමනුභාසන කම් කරණ කල්හි (එය) නො හරිත් නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ලාමක දෘෂ්ටිය ඇතිකල්හි තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරිත් නම් පචිති ඇවැත් වේ. කිච්චාධිකරණ හේතුයෙන් මේ පස් ඇවැතට පැමිණේ.