අන්තරපෙය්යාලය
කතිපූච්ඡාවාරය
ආපත්තීහු කෙතෙක් ද, ආපත්තිස්කන්ධයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, අගෞරවයෝ කෙතෙක් ද, ගෞරවයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, විපත්තීහු කෙතෙක් ද, ආපත්ති සමුට්ඨානයෝ කෙතෙක් ද, විවාද මූලයෝ කෙතෙක් ද, අනුවාදමූලයෝ කෙතෙක් ද, සාරාණීය ධර්මයෝ කෙතෙක් ද, භේදකර වස්තුහු කෙතෙක් ද, අධිකරණයෝ කෙතෙක් ද, ශමථයෝ කෙතෙක් ද යත්:
ආපත්තීහු පස්දෙනෙකි, ආපත්තිස්කන්ධයෝ පස්දෙනෙකි, විනීත වස්තූහු පස්දෙනෙකි, ආපත්තීහු සත්දෙනෙකි, ආපත්තිස්කන්ධයෝ සත් දෙනෙකි, විනීතවස්තූහු සත් දෙනෙකි. අගෞරවයෝ සදෙනෙකි, ගෞරවයෝ සදෙනෙකි, විනීතවස්තූහු සදෙනෙකි, විපත්තීහු සිවු දෙනෙකි, ආපත්ති සමුට්ඨානයෝ සදෙනෙකි, විවාදමූලයෝ සදෙනෙකි, අනුවාදමූලයෝ සදෙනෙකි, සාරාණීය ධර්මයෝ සදෙනෙකි, භේදකර වස්තූහු අටළොස් දෙනෙකි, අධිකරණයෝ සිවුදෙනෙකි, ශමථයෝ සත් දෙනෙකි.
1. එහි පස්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේශ නීයාපත්ති යැ, දුෂ්කෘතාපත්ති යැයි මොහු පස් වැදැරුම් ආපත්තීහුයි.
2. එහි පස්වැදෑරුම් ආපත්තිස්කන්ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්ධ යැ, සඞ්ඝාදිසේසපත්තිස්කන්ධ යැ, පාචිත්තියාපත්තිස්කන්ධ යැ, පාටිදේසනීයාපත්ති ස්කන්ධ යැ, දුක්කටාපත්තිස්කන්ධ යැයි මොහු පස්වැදෑරුම් ආපත්තිස්කන්ධයෝයි.
3. එහි පස්වැදෑරුම් විනීත වස්තූහු කවරහ යත්: පස් වැදැරුම් ආපත්තිස්කන්ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්රිය යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැ යි මොහු පස්දෙන විනීතවස්තුහුයි.
4. එහි සත්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසා පත්ති යැ, ථුල්ලච්චයාපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේසනීයාපත්ති යැ, දුක්කටා පත්ති යැ, දුබ්භාසිතාපත්ති යැ යි මොහු සත්දෙන ආපත්තීහුයි.
5. එහි සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්ධ යැ, සඞ්ඝාදිසේසාපත්තිස්කන්ධ යැ, ථූල්ලච්චයාපත්තිස්කන්ධ යැ, පාචිත්තියාපත්තිස්කන්ධ යැ, පාටිදෙසානීයාපත්තිස්කන්ධ යැ, දුක්කටාපත්තිස්කන්ධ යැ, දුබ්භාසිතාපත්තිස්කන්ධ යැ යි මොහු සත්දෙන ආපත්තිස්කන්ධයෝයි.
6. එහි සත්වැදෑරුම් විනීතවස්තූහු කවරහ යත්: සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්රියා යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැයි මොහු සත් දෙන විනීත වස්තූහු යි.
7. එහි සවැදැරුම් අගෞරවයෝ කවරහ යත්: බුදුන් කෙරෙහි අගෞරව යැ දහම්හි අගෞරව යැ සඟුන් කෙරෙහි අගෞරව යැ ශික්ෂායෙහි අගෞරව යැ අප්රමාදයෙහි අගෞරව යැ පිළිසඳරෙහි අගෞරව යැ යි මොහු සදෙන අගෞරවයෝ යි.
8. එහි සවැදැරුම් ගෞරවයෝ කවරහ යත්: බුදුන් කෙරෙහි ගෞරව යැ දහම්හි ගෞරව යැ සඟුන් කෙරෙහි ගෞරව යැ ශික්ෂායෙහි ගෞරව යැ අප්රමාදයෙහි ගෞරව යැ පිළිසඳරෙහි ගෞරව යැ යි මොහු සදෙන ගෞරවයෝ යි.
9. එහි සවැදෑරුම් විනීතවස්තුහු කවරහ යත්: සවැදැරුම් අගෞරවයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්රිය යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැයි මොහු සදෙන විනීත වස්තූහු යි.
10. එහි සිවුවැදෑරුම් විපත්තීහු කවරහ යත්: සීලවිපත්ති යැ ආචාරවිපත්ති යැ දිට්ඨිවිපත්ති යැ ආජීවවිපත්ති යැ යි මොහු සිවු විපත්තීහු යි.
11. එහි සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝ කවරහ යත්: කයින් නගින ඇවැතෙක් ඇත, එය වචනයෙන් නො නගියි, සිතින් නො නඟී. වචනයෙන් නඟින ඇවතෙක් ඇත, එය කයින් නො නඟියි, සිතින් නො නඟී. කයින් ද වචනයෙන් ද නගින ඇවැතෙක් ඇත, එය සිතින් නො නඟී. කයින් ද සිතින් ද නගින ඇවැතෙක් ඇත, එය වචනයෙන් නො නඟී. වචනයෙන් ද සිතින් ද නගින ඇවැතෙක් ඇත, එය කයින් නො නඟී. කයින් ද වචනයෙන් ද සිතින් ද නඟින ඇවැතෙක් ඇතැයි මොහු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝයි.
12. එහි සවැදැරුම් විවාදමූලයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණ කිපෙන සුලුවූයේ බද්ධ වෛර ඇත්තේ වෙයි. යම් ඒ මහණෙක් කිපෙන සුලුවූයේ බද්ධ වෛර ඇත්තේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, ධර්මය කෙරෙහිද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, ශික්ෂාව ද සම්පූර්ණ කරන්නෙක් නො වෙයි, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්ෂාව සම්පූර්ණ කරන්නෙක් නො වේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. යම් ඒ විවාදයෙක් බොහෝ ජනයාට අහිත පිණිස බොහෝ ජනයාට නො සුව පිණිස බොහෝ ජනයාට අවැඩ පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේද, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සිය සතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ ප්රහාණිය වෙයි. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ.
නැවත ද අනෙකෙක් වෙයි. මහණ ගුණමකු වූයේ යුභග්රාහී වෙයි. ... ඊර්ෂ්යා කරණසුලු වූයේ මසුරුබව් ඇත්තේ වෙයි. කපටි වූයේ මායා ඇත්තේ වෙයි. ලාමක අදහස් ඇත්තේ මිසදිටු ඇත්තේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ම ආමර්ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වෙයි. යම් ඒ මහණෙක් ස්වකීය දෘෂ්ටිය ම ආමර්ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරලීමෙහි දුෂ්කර වූයේ වේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්ෂාව ද සම්පූර්ණ කරන්නෙක් නො වෙයි. යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්ෂාව සම්පූර්ණ කරන්නෙක් නොවේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි.