20. සමුට්ඨාපනවාරය
1. විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයක් උපදවා ද, විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් විවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත් ඒ කෙසේ යැ යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු ධර්‍මයැ යි හෝ අධර්‍මයැ යි හෝ විනය යැයි හෝ අවිනය යැයි හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද යැ ප්‍රකාශ කරණ ලදැයි හෝ තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද යැ ප්‍රකාශ නො කරණ ලදැයි හෝ
තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි හෝ තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැයි හෝ තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි හෝ තථාගතයන් විසින් නො පණවන ලදැයි හෝ ඇවැතැයි හෝ නො ඇවැතැයි හෝ ලුහු ඇවැතැයි හෝ ගරු ඇවැතැයි හෝ සාවසේසාපත්තියැ යි හෝ අනවසේසාපත්තියැ යි හෝ තුළුල් ඇවැතැයි හෝ නො තුළුල් ඇවැතැයි හෝ විවාද කෙරෙති. එහි යම් ඩබරයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් ප්‍රතිවිරුද්ධ වචනව්‍යවහාරයෙක් විහෙසයෙක් වේ ද, මේ විවාදාධිකරණ යැයි කියනු ලැබේ. විවාදාධිකරණයෙහි ලා සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ විවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
2. අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් උපදවා ද? අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් අනුවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්, ඒ කෙසේ ද යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු භික්‍ෂුහට ශිලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් චෝදනා කිරීමෙක් පුන පුනා කීමෙක් පහළ කොට කීමෙක් නො කඩවා බිණීමෙක් එයට නැමුනු බවෙක් උත්සාහවත් බවෙක් අනුබල දීමෙක් වේ ද, මේ අනුවාදාධිකරණයැයි කියනු ලැබේ. අනුවාදාධිකරණයෙහි ලා සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ අනුවාදාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
3. ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් උපදවා ද? ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් ආපත්තාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ ම උපදිත්. ඒ කෙසේ ද? යත්: පඤචාපත්තිස්කන්‍ධය ද ආපත්තාධිකරණය වෙයි. සප්තාපත්තිස්කන්‍ධය ද ආපත්තාධිකරණය වේ. මේ ආපත්තාධිකරණ යි කියනු ලැබේ. ආපත්තාධිකරණයෙහි ලා සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ ආපත්තාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
4. කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් උපදවා ද, කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිසියම් අධිකරණයක් නො උපදවයි. එහෙත් කිච්චාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ ම උපදිත්. ඒ කෙසේ ද යත්: සඞ්ඝයාගේ අපලෝකනකර්‍මය ඤත්තිකර්‍මය ඤත්තිදුතියකර්‍මය ඤත්තිචතුත්‍ථකර්‍මය යන යම් කෘත්‍යභාවයෙක් කටයුතු බවෙක් වේ ද, මේ කිච්චාධිකරණය යි කියනු ලැබේ. කිච්චාධිකරණයෙහි ලා සඞ්ඝතෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණය වේ. මෙසේ කිච්චාධිකරණය හේතුකොට සිවුවැදෑරුම් අධිකරණයෝ උපදිත්.
විසිවන සමුට්ඨාපනවාරය නිමි.