9. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් විවාද කරණ මෙහෙණහට අධිකරණ හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද, කවරක ඇරැබ ද, කිනම් වස්තුයෙකැ ... කවරක්හු විසින් ගෙණ එන ලද ද:
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් විවාද කරණ මෙහෙණහට අධිකරණ හේතුයෙන් සිදුවන සඟ වෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය ඇරැබය. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්දා භික්ෂුණී විවාද ඇතියා වැ වාසය කළායැ. ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇත් ද, යත්: පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති. සබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යි. ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි. සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ යැ. නිදානුද්දේසයෙහි ඇතුළත් යැ. කිනම් උද්දේසයෙකින් උදෙසීමට පැමිණේ ද යත්: තුන්වන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිනම් විපත්තියක්ද යත්: සීලවිපත්ති යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කිනම් ආපත්ති ස්කන්ධයෙක් ද යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්ධ යි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: දෙ සමුට්ඨානයෙකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදි.
උපාලි ස්ථවිර යැ. දාසක ස්ථවිර යැ ... විනය පිටකය තඹපැන් නම් වූ හෙළදිවැ පැවසූහු.
3. (සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින්) සෙරක උපසපන් කරවීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය ඇරැබය. කිනම් වස්තුවෙක්හි ද යත්: ථුල්ලනන්දා භික්ෂුණී සෙරක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් දෙ සමුට්ඨානයෙකින් නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...
4. එකලා වැ අන් ගමකට යෑම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: එක්තරා මෙහෙණක ඇරැබය. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එකලා වැ අන් ගමකට ගියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකැ, අනුපඤ්ඤත්ති තුණෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ප්රථමපාරාජිකයෙහි යැ. ...
5. ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කරණ ලද මෙහෙණකට කාරකසඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඔසාරණකම් කිරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්දා භික්ෂුණි ධර්මයෙන් විනයෙන් ශාස්තෘ ශාසනයෙන් සමගසඟුන් විසින් උඛෙව්නීකම් කළ මෙහෙණක කාරකසඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඇතුළත් කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
6. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක විසින් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වැළඳීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සුන්දරීනන්දා භික්ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තු යෙකැ යත්: සුන්දරීනන්දා භික්ෂුණි මෙවුන්දම්රායෙන් තෙත්වූවා මෙවුන්දම් රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් ආමිසයක් පිළිගත්තී යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ප්රථම පාරාජිකයෙහි යැ. ...
7. ආර්ය්යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද යම් හෙයකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහු ද එබැවින් ආර්ය්යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ යම් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ තොපට දේ ද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: එක්තරා මෙහෙණක ඇරැබ ය. කිනම් වස්තුයෙක් යත්: එක්තරා මෙහෙණක් ආර්ය්යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද යම් හෙයකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහුද, එබැවින් ආර්ය්යාව, තෙල පුරුෂ පුද්ගල යම් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ තොපට දේද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගී. ...
8. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි කිපුණු නො සතුටු සිත් ඇති මෙහෙණහට එය නො හැරීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: චණ්ඩකාලී භික්ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: චණ්ඩකාලී භික්ෂුණි කිපියා නො සතුටු සිත් ඇත්තී, “බුදුන් ප්රතික්ෂේප කරමි, ධර්මය ප්රතික්ෂේප කරමි, සඞ්ඝයා ප්රතික්ෂේප කරමි, ශික්ෂාව ප්රතික්ෂේප කරමි “යි මෙසේ කිවු යැ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...