10. කතාපත්තිවාරය
10. 1.
පාරාජික කාණ්ඩය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණෙයි: කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මෙහෙණක් කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අකුඇටයෙන් යට දණ මඬලින් උඩ ගැනීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණෙක් කයින් කය ස්පර්‍ශ කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙහි පචිති ඇවැත් වේ. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් මේ පස් ඇවතට පැමිණේ.
2. වරද සැඟවීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: වරද සැඟවීම් හේතුවෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණක් දැන දැන පරිජි ඇවැතක් වසා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇතියා වසා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණෙක් සඟ වෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාර විපත්තියක් සඟවා නම් දුකුළා ඇවැත් වේ. වරද සැඟවීම් හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
3. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණෙයි: උඛෙව්නීකම්කරණ ලදහු අනු වැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වෙයි, භේදකයනට අනුවණැ වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නොහරී නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ලාමක දෘෂ්ටියෙන් යුත් මෙහෙණහට තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නොහරී නම් පචිති ඇවැත් වේ. තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුවෙන් මේ පස් ඇවැතට පැමිණේ.
4. අෂ්ටම වස්තුව පිරවීම් හේතුයෙන් කෙතෙක් ඇවතුන්ට පැමිණේ ද යත්: අෂ්ටම වස්තුව පිරවීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: පිරිමියක්හු විසින් “මෙනම් තැනට යව” යි කියන ලද්දී යේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිමියක්හුගේ අත්පසට වන් කල්හි ථුලැසි ඇවැත් වෙයි, කය එළවීම් සඞ්ඛ්‍යාත අෂ්ටම වස්තුව පුරවා නම් පරිජි ඇවැත් වේ. අෂ්ටම වස්තුව පිරවීම් හේතුයෙන් මේ තුන් ඇවතට පැමිණේ.
පරිජි නිමි.
10. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. විවාද කරණ මෙහෙණ අධිකරණ කිරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: එකක්හට ඇරොජා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැන්නකුට ඇරොජා නම් ථුලැසි ඇවැත් වෙයි, අධිකරණය නිමිකල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
2. සෙරෙක උපසපන් කරවීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලාසීහු වෙතී. කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
3. එකලා වැ අන් ගමකට යෑම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් ථුලැසි ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
4. සමගසඟුන් විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙව්නීකම් කළ මෙහෙණක කාරක සඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඇතුළත් කර ගැණීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
5. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වැළඳීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි, වළඳන්නෙමි” යි පිළිගණී නම් ථුලැසි ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි සඟවෙසෙස් ඇවැත් වෙයි, දිය දැහැටි පිළිගණී නම් දුකුළා ඇවැත් වේ.
6. ආර්‍ය්‍යාව, තෙල පුරුෂපුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද, යම්හෙයෙකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහු ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂපුද්ගල තෙමේ යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ තොපට දේ ද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඇයගේ වචනයෙන් “කන්නෙමි වළඳන්නෙමි’ යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි ථුලැසි ඇවැත් වෙයි, වළඳා නිමි කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. කිපියා වූ මෙහෙණක් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. කිසියම් අධිකරණයෙක්හි පරදවන ලද මෙහෙණක් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
9. ගිහියන් හා එක් වූ මෙහෙණක් තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.