4. 6.
1. දැන දැන මහණුන් ඇති අරමකට නො පිළිවිස පිවිසෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
2. මහණක්හට ආක්රෝශ කරණ අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ආක්රෝශ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආක්රෝශ කළ කල්හි පචිති ඇවැත් වේ.
3. සැඬ බැවින් මෙහෙණ ගණයාහට අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
4. නිමතන ලදුව හෝ පවරණ ලදුව හෝ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
5. කුල මසුරුබව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මසුරුබව කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මසුරුබව කළ කල්හි පචිති ඇවැත් වේ.
6. මහණුන් නැති ආවාසයෙහි වස් වසන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වස් වසන්නෙමි” යි සෙනසුන් පණවා නම් පියයුතු පැන් හෝ පිරිබෝ දිය හෝ එළවා නම් පිරිවෙණ හෝ හමදී නම් දුකුළා ඇවැත් වෙයි, අරුණ නැඟීම සමග පචිති ඇවැත් වේ.
7. වස් විසූ මෙහෙණ මහණ මෙහෙණ දෙසඟුන් කෙරෙහි (දිට්ඨ-සුත-පරිසඞ්කිත යන) තුන් කරුණින් නො පවරන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
8. අවවාද අසනු පිණිස හෝ පොහෝ පවුරුණු විචාරණු පිණිස හෝ නො යන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
9. පෙහෙවස් දිනය ද නො විචාරණ, අවවාදය ද නොම යදින මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
10. යටිකය පෙදෙසෙහි හටගත් ගඬක් හෝ වණයක් හෝ මෙහෙණ සඟහු හෝ මෙහෙණ ගණයා හෝ නො පිළිවිස එකලා පුරුෂයක්හු හා සමග එකලාව බිඳුවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බිඳුවා නම් පියෝහි දුකුළා වෙයි, බිඳවූ කල්හි පචිති ඇවැත් වේ.
සවන ආරාම වර්ග යි.
4. 7.
1. ගැබිනියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
2. කිරි පොවන්නිය උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි නො හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
4. මෙහෙණ සඟහු විසින් සම්මත කරණ ලද දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
5. පුරුෂ සමාගමයට පැමිණි නො පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
6. පිරිපුන් දොළොස්වස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි නොහික්මුනු සිඛ ඇති පුරුෂ සමාගමයට පැමිණියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.