8. භික්ඛුනෝවාද වර්‍ගය
1. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට භික්‍ෂුණීසඞ්ඝයා විසින් මැ කර්‍ම කළයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්තවූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින්ම “ඒ මහණ භික්‍ෂුණීසඞ්ඝයා විසින් නොවැඳිය යුත්තෙකැ” යි (දණ්ඩ) කර්‍ම කළ යුතු යි. කවර පසෙකින යත්: කය විවෘත කොට භික්‍ෂුණීන්හට දක්වයි; වටොර දක්වයි, රහසඟ දක්වයි, දෙඋරහිස් දක්වයි, නොසැබි තෙපුල් කියයි. ගිහියන් හා (මෙවුන්දම්හි) යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැඳිය යුත්තෙකැ” යි කර්‍ම කළයුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළයුතුයි. කවර පසෙකින යත්: භික්‍ෂුණීන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්ගේ නො විසීම පිණිස (වසන තැනින් නෙරපීම පිණිස) යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට ආක්‍රෝශ - පරිභව කෙරෙයි, මහණුන් මෙහෙණන් හා බිඳුවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළ යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට භික්‍ෂුණිසඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණිසඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළ යුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂුණීන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි. භික්‍ෂුණීන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ කෙරෙයි. නින්‍දා කෙරෙයි, මහණුන් මෙහෙණන් හා (මෙවුන්දම්හි) යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණීසඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණීසඞ්ඝයා විසින් නොවැන්ද යුත්තෙකැ”යි කර්‍ම කළ යුතු යි.
2. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: කය විවෘත කොට භික්‍ෂූන්හට දක්වයි, වටොර දක්වයි, රහසඟ දක්වයි, දෙ උරහිස් දක්වයි, නොසැබි තෙපුල් කියයි, (මෙහෙණන් හා මෙවුන්දම් සෙවුනා පිණිස) ගිහියන් යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂූන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට ආක්‍රෝශ කෙරෙයි, නින්‍දා කෙරෙයි, මෙහෙණන් මහණුන් හා බිඳුවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළ යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂූන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට ආක්‍රෝශ කෙරෙයි, නින්‍දා කෙරෙයි, මෙහෙණන් මහණුන් හා මෙවුන්දම් පිණිස යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි.
3. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතුයි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තෙක් වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේ වෙයි. (භික්‍ෂු භාවයෙන්) චුත කරවනු කැමැත්තේ කියන්නේ වෙයි. (ඇවැතින්) නැගුටුවන අදහස් ඇත්තේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි. කවර පසෙකින යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු වාක් සමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි. විචාරණු ලබන්නේ අනුයෝගය දෙන්නට ප්‍රතිබල නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතුයි. කවර පසෙකින යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. කායිකවාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ වෙයි. භික්‍ෂුණීන් සමඟ නො සුදුසුයේ එක් වැ හැනී වෙසේ. උපාලි, මේ අංග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නො තැබිය යුතු යි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තේ වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේත් වෙයි. කලහ කරන්නේ අරගල කරන්නේත් වෙයි. ශික්‍ෂාවන් සම්පූර්‍ණ කරන්නේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
4. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්ට අවවාද කිරීම නොපිළිගත යුතු යි. කවර පසෙකින යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. කායික වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ වෙයි. භික්‍ෂුණීන් සමග නොසුදුසු සේ එක් වැ හැනී වෙසේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නො පිළිගත යුතු යි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තේත් වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේත් වෙයි. ගමිකයෙක් හෝ වෙයි. ගිලනෙක් හෝ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු යි.