උපාලිපඤ්චකය
1. අනිස්සිත වර්ගය
1. එ සමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ, භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතුදැ” යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතුයි, කවර පසෙකින් ද යත්: උපෝසථය නො දනියි, උපෝසථ කර්මය නො දනියි, ප්රාතිමෝක්ෂය නො දනියි, පාමොක් උදෙසීම නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි. කවර පසෙකින් ද යත්: උපෝසථය දනියි, උපෝසථ කර්මය දනියි, ප්රාතිමෝක්ෂය දනියි, පාමොක් උදෙසීම දනියි. පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
2. උපාලි, අනෙකුදු පසඟෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි, කවර පසෙකින් ද යත්: පවාරණය නො දනියි, පවාරණ කර්මය නො දනියි, ප්රාතිමෝක්ෂය නො දනියි, පාමොක් උදෙසීම නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
උපාලි, පසඟෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතුයි. කවර පසෙකින් ද යත්: පවාරණය දනියි. පවාරණ කර්මය දනියි, ප්රාතිමෝක්ෂය දනියි, පාමොක් උදෙසීම දනියි, පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි. කවර පසෙකින් ද යත්: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ආපත්ති නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි, කවර පසෙකින් ද යත්: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ආපත්ති දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
4. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු ද, නිස නොදිය යුතු ද, හෙරණකු ලවා උවටැන් නො කරවිය යුතු ද ?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ. නිස නො දිය යුතු යැ. හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යැ. කවර පසෙකින් ද යත්: ගිලන් වූ අතැවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ, උපන් අනභිරතිය (උකටලී බව) බැහැර කරන්නට හෝ කරවන්නට හෝ උපන් කුකුස දහමින් විනයෙන් දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ, අභිධර්මයෙහි (නාම රූප පරිච්ඡේදයෙහි) හික්මවන්නට, අභිවිනයෙහි හික්මවන්නට ප්රතිබල නො වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් උපසපන් නො කරවියැ යුතු යැ. නිස නො දිය යුතු යැ. හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ, නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: ගිලන් වූ අතැවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ, උපන් උකටලී බව බැහැර කරන්නට හෝ කරවන්නට හෝ, උපන් කුකුස දහමින් විනයෙන් දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ, අභිධර්මයෙහි හික්මවන්නට, සියලු විනය පිටකයෙහි හික්මවන්නට ප්රතිබල වෙයි. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ, නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ, නිස නො දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්ෂාවන්හි (කඳුවත්හි) හික්මවන්නට, ආදිබ්රහ්මචරිය සඞ්ඛ්යාත සේඛපණ්ණත්ති ශික්ෂාවන්හි (පරිජි සඟ වෙසෙස්හි) හික්මවන්නට, අධිශීලයෙහි (ප්රාතිමෝක්ෂ ශීලයෙහි) හික්මවන්නට, අධිචිත්තයෙහි (ලෞකිකසමාධිභාවනාවෙහි) හික්මවන්නට අධිප්රඥායෙහි (ලෝකෝත්තර මාර්ගභාවනාවෙහි) හික්මවන්නට ප්රතිබල නො වෙයි, උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ, නිස නො දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යැ.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ. නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්ෂාවෙහි හික්මවන්නට ආදිබ්රහ්මචරියක ශික්ෂාවෙහි හික්මවන්නට, අධිශීලයෙහි හික්මවන්නට, අධිචිත්තයෙහි හික්මවන්නට, අධිප්රඥාවෙහි හික්මවන්නට ප්රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුතු මහණහු විසින් උපසපන් කරවිය යුතු යි. නිස දිය යුතු යි. හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි.