7. මුසාවාද වර්ගය
1. වහන්ස, මුසාවාද කෙතෙක් ද?
උපාලි, මේ මුසාවාද පසෙකි. කවර පසෙකැ යත්: පරිජියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, සඟවෙසෙසට පැමිණෙන මුසාවාදයෙක් ඇත, ථුලැසියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, පචිතියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, දුකුළාවට පැමිණෙන මුසාවාදයෙක් ඇති. උපාලි, මේ මුසාවාද පසයි.
2. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට: “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර යි” (තමාගේ වචනයෙන් ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: ලජ්ජා නැත්තේත් වෙයි, අඥානත් වෙයි, අපුවතත් වූයේත් වෙයි, (භික්ෂුභාවයෙන්) චුත කරවන අදහසින් කියන්නේ වෙයි, (ඇවැතින්) නැගී සිටුවන අදහසින් නො කියන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩ සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු වාක්සමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු දිවි පෙවෙත් ඇත්තේ වෙයි, අව්යක්ත වූ අඥානයෙක් වෙයි, ඩබර කරන්නේ කලහ කරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන්නා වූ මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතුයි.
3. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට අනුයෝගය නො දිය යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහට අනුයෝගය නො දිය යුතුයි: කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත නො දනියි, ලුහු ගුරු ඇවැත නො දනියි, සාවසේස අනවසේස ඇවැත නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත නො දනියි, පිළියම් සහිත පිළියම් රහිත ඇවැත නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට අනුයෝගය (චෝදනා විචාරණය) නො දිය යුතු යි.
උපාලි, අඞ්ග පසකින් යුත් මහණහට අනුයෝගය දිය යුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත දනියි, ලුහු ගුරු ඇවැත දනියි, සාවසේස අනවසේස ඇවැත දනියි, තුළුල් නො තුළුල් ඇවැත දනියි, පිළියම් සහිත පිළියම් රහිත ඇවැත දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට අනුයෝගය දිය යුතු යි.
4. වහන්ස, කෙතෙක් අයුරින් මහණ ඇවැතට පැමිණේ ද?
උපාලි, පස් අයුරෙකින් මහණ ඇවැතට පැමිණේ. කවර පසෙකින යත්: ලජ්ජා නැති බව යැ, අඥාන බව යැ, කුකුසින් මැඩුණු බව යැ, නො කැපයෙහි කැපැයි හැඟීම් ඇති බව යැ, කැපයෙහි නො කැපැයි හැඟීම් ඇති බව යි. උපාලි, මේ පස් අයුරින් මහණ ඇවැතට පැමිණේ.
උපාලි, අනෙකුදු පස් අයුරෙකින් මහණ ඇවැතට පැමිණේ. කවර පසෙකින යත්: (විනයධරයා) නො දැකීමෙන් යැ. (විනයධරයාගේ බස්) නො ඇසීමෙන් යැ. (සහගාර සෙය්යාවෙහි) නිදන බැවින් යැ, අකැපයෙහි කැපැයි සංඥා ඇති බැවින් යැ, සිහිමුළායෙනි. උපාලි, මේ පස් අයුරෙන් මහණ ඇවැතට පැමිණේ.
5. වහන්ස, වෙරයෝ කෙතෙක් ද?
උපාලි, මේ වෙරයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: පණිවා යැ, අයිනාදන යැ, කාමයන්හි වරදවා හැසිරීම යැ, මුසවා යැ, මද ප්රමාදයට හේතු වූ රහමෙර යි. උපාලි, මේ පස් වෙරයෝ යි.
6. වහන්ස, විරමණයෝ කෙතෙක් ද?
උපාලි, මේ විරමණයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: ප්රාණඝාතයෙන් වැළකීම යැ, නො දුන් දැය ගැන්මෙන් වැළකීම යැ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම යැ, මුසවායෙන් වැළකීම යැ, මදයට හා ප්රමාදයට හේතු වූ රහමෙරින් වැළැකීම යි. උපාලි, මේ පස් විරමණයෝ යි.
7. වහන්ස, ව්යසනයෝ කෙතෙක් ද?
උපාලි, මේ ව්යසනයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: ඥාතිව්යසන යැ, භොගව්යසන යැ, රෝගව්යසන යැ, ශීලව්යසන යැ, දෘෂ්ටිව්යසන යි. මේ පස් ව්යසනයෝ යි.
8. වහන්ස, සම්පත්තීහු කෙතෙක් ද?
උපාලි, මේ සම්පත්තීහු පසෙක් වෙති. කවර පසෙක් ද යත්: ඥාති සම්පත්ති යැ, භෝගසම්පත්ති යැ, ආරෝග්යසම්පත්ති යැ, ශීලසම්පත්ති යැ, දෘෂ්ටිසම්පත්ති යි. උපාලි, මේ පස් සම්පත්තීහු වෙත්.
සත්වන මුසාවාද වර්ගය නිමි.
එහි නාමාවලිය:
මුසාවාද යැ ඔමද්ද යැ අන්ය වූ අනුයෝග යැ ආපත්ති යැ අන්ය වූ වෙර යැ වේරමණී යැ ව්යසන යැ සම්පදා යැ යන මොහු සත්වන වර්ගයෙහි සඞ්ගෘහීතයහ.