5. අත්තාදාන වර්‍ගය
1. වහන්ස, මෙරමාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහිලා සලකා මෙරමා චෝදනා කළයුතු ද ?
උපාලි, මෙරමාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා කෙරෙහිලා සලකා මෙරමා චෝදනා කළයුතු යි. කවර පසෙක යත්:- උපාලි, අනෙකකුට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම පිරිසිදු වූ කායසමාචාර ඇත්තෙම් සිදුරු රහිත වූ අනුන් විසින් විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ කායසමාචාරයෙන් යුක්ත වූයෙම් ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැද්ද” කියා යි. උපාලි, ඉදින් මහණ පිරිසිදු වූ කායසමාචාර ඇත්තෙක් නො වේ නම් සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ කායසමාචාරයෙන් යුක්ත වූවෙක් නො වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට කායසමාචාරයෙහි හික්මෙන්නැ”යි ඔහුට මෙසේ කියන්නෝ වෙත්.
උපාලි, තවද අනෙකකි; අන්‍යයාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම පිරිසිදු වූ වාක්සමාචාර ඇත්තෙම් ද, සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ වාක්සමාචාරයෙන් යුක්ත වූයෙම් ද, මේ ධර්‍මය මා කෙරෙහි පවතී ද, නැද්ද” කියා යි. උපාලි, ඉදින් මහණ තෙමේ පිරිසිදු වූ වාක් සමාචාර ඇත්තෙක් නො වේ නම් සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ වාක්සමාචාරයෙන් යුක්ත වූවෙක් නො වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට වාක්සමාචාරයෙහි හික්මෙන්නැ”යි ඔහුට මෙසේ කියන්නෝ වෙත්.
උපාලි, තවද අනෙකකි; අන්‍යයාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මාගේ මෙත් සිත එළඹ සිටියේ ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැද්ද” කියා යි. උපාලි, ඉදින් සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මෙත් සිත මහණහු තුළ නො එළඹ සිටියේ වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට සබ්‍රම්සරුන් කෙරෙහි මෙත් සිත උපදවා ගන්නැ” යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්.
උපාලි, තවද අනෙකකි; අන්‍යායාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම සුතධර වූ සුතසන්නිචය වූ බහුශ්‍රැතයෙම් ද, ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ධර්‍මකෙනෙක් කේවල පරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් නම් එබඳු ධර්‍මයෝ මා විසින් බොහෝ කොට අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුන පුනා විමසන ලද්දාහු “ප්‍රඥායෙන් මොනවට අවබෝධ කරණ ලද්දාහු වෙද්ද? තෙල ධර්‍මය මා තුළ පවතී ද නොහොත් නැද්දැ” යි. උපාලි, ඉදින් මහණ සුතධර වූ සුතසන්නිචය වූ බහුශ්‍රැතයෙක් නො වේ නම් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් ද එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා විමසන ලද්දාහු ප්‍රඥායෙන් මොනවට අවබෝධ කරණ ලද්දාහු නො වෙත් නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට ආගමධර්‍මය පුහුණු කරන්නැ”යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්.
උපාලි, තවද අනිකකි; අන්‍යයාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මා විසින් උභයප්‍රාතිමෝක්‍ෂය පෙළ වශයෙන් ද (අර්‍ත්‍ථකථාදි) අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් මොනවට ප්‍රගුණ කරණ ලද ද, මොනවට විභාග කොට දැන ගන්නා ලද ද, මොනවට දැරීම් වශයෙන් පවත්වා ගන්නා ලද ද, මොනවට විනිශ්චය කොට දැනගන්නා ලද ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැද්ද කියා යි. උපාලි, ඉදින් මහණහු විසින් උභයප්‍රාතිමෝක්‍ෂය පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් මොනවට ප්‍රගුණ නො කරණ ලද මොනවට විභාග කොට නො දන්නා ලද මොනවට දැරීම් වශයෙන් පවත්වා නො ගන්නා ලද මොනවට විනිශ්චය කොට නො දන්නා ලද නම් ඇවැත, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කොතැන්හි දේශිත දැයි විචාරණ ලද්දේ සිහි කොට නො කියයි ද, (කිය නොහැකි වේ ද) දන්වනු නොහැකි වේ ද, ඔහුට නුගුණ කියන්නෝ වෙති: “එබැවින් ආයුෂ්මත් තෙමේ පළමු කොට විනය ප්‍රගුණ කරන්නැ” යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්. උපාලි, අන්‍යයාට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මේ දහම් පස තමන් කෙරෙහි නුවණින් සලකා බලා අන්‍යයාට චෝදනා කටයුතු ය.
2. වහන්ස, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් දහම් තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු ද?
උපාලි, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් දහම් පසක් තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු යි. කවර පසෙකැ යත්: සුදුසු කල්හි කියන්නෙමි, නො කල්හි නො කියන්නෙමි. භූතයෙන් කියන්නෙමි, අභූතයෙන් නො කියන්නෙමි. මෘදු වූ වචනයෙන් කියන්නෙමි, රළු වචනයෙන් නො කියන්නෙමි. අර්‍ත්‍ථසංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි. මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි. උපාලි, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් මේ දහම් පස තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු යි.
3. වහන්ස, අන්‍යයාට චෝදනා කරණු කැමති චෝදක මහණුන් විසින් කෙතෙක් දහම් තමන් තුළ මෙනෙහි කොට අන්‍යයාට චෝදනා කටයුතු ද?
උපාලි, අන්‍යයාට චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් දහම් පසක් තමා තුළ මෙනෙහි කොට අන්‍යායාට චෝදනා කටයුතු යි. කවර පසෙක යත්: කුළුණැති බව යැ හිතෛෂී බව යැ අනුකම්පා ඇති බව යැ ඇවැතින් නැගිටුවා ශුද්ධියෙහි පිහිටුවන බව යැ විනය පෙරටු කොට ඇති බව යි. උපාලි, අන්‍යයාට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ දහම් පස තමා තුළ මෙනෙහි කොට අන්‍යයාට චෝදනා කටයුතු යි.
4. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්‍වාගත ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි නො වෙයි. කවර පසෙකැ යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු වාක් සමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි. විචාරණු ලබන්නේ විචාළ දෑ කියන්නට ප්‍රතිබල නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි නො වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වෙයි. කවර පසෙකින යත්: පිරිසිදු කායසමාචාරය ඇත්තේ වෙයි. පිරිසිදු වාක් සමාචාරය ඇත්තේ වෙයි. පිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. ව්‍යක්ත වූ පණ්ඩිතයෙක් වෙයි. විචාරණු ලබන්නේ විචාළ දෙය කියන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වේ.