3. වෝහාර වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නොකටයුතු ද ?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො දනී, ඇවැත් නැගීම නො දනියි, ඇවැත පිළිබඳ කායවාග් ප්‍රයෝගය නො දනියි, ඇවැත පිළිබඳ සන්හිඳීම නො දනියි, ඇවැත පිළිබඳ විනිශ්චයෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි, කවර පසෙකින් ද යත්: ඇවැත දනියි, ඇවැත් නැගීම දනියි. ඇවැත පිළිබඳ කාය වාග් ප්‍රයෝගය දනියි, ඇවැත පිළිබඳ සන්හිඳීම දනියි, ඇවැත පිළිබඳ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි, කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණය පිළිබඳ ප්‍රයෝගය නො දනියි, අධිකරණය පිළිබඳ සන්හිඳීම නො දනියි, අධිකරණය විසඳීමෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණය පිළිබඳ ප්‍රයෝගය දනියි, අධිකරණය පිළිබඳ සන්හිඳීම දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි, කවර පසෙකින යත්: මෙරමා ලාහෙළා කථා කරන්නේ වෙයි, අවසර නොගෙන කථා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නොකරන්නේ වෙයි. ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) නොකරන්නේ වෙයි. (ස්වකීය) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ නොකරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ලාහෙලා කථා නො කරන්නේ වෙයි. අවසර ගෙණ කථා කරන්නේ වෙයි. ධර්‍මය වූ පරිද්දෙන්, විනය වූ පරිද්දෙන්, ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි. ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) කරවන්නේ වෙයි. දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතුයි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත නො දනියි, ලුහු ගුරු ඇවැත නො දනියි, සාවසේස අනවසේස ඇවැත නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත නො දනියි, ප්‍රතිකර්‍ම සහිත වූ ද ප්‍රතිකර්‍ම රහිත වූ ද ඇවැත නො දනියි, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත දනියි, ලුහු ගුරු ඇවැත දනියි, සාවසේස අනවසේස ඇවැත දනියි, තුළුල් නො තුළුල් ඇවැත දනියි, ප්‍රතිකර්‍ම සහිත වූ ද ප්‍රතිකර්‍ම රහිත වූ ද ඇවැත දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ, විනිශ්චය කටයුතු යි.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: කර්‍මය නො දනියි, කර්‍මය කිරීම නො දනියි, කර්‍මය පිළිබඳ වස්තුව නො දනියි, කර්‍මය පිළිබඳ වත නො දනියි, කර්‍මය පිළිබඳ සන්හිඳීම නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: කර්‍මය දනියි, කර්‍මය කිරීම දනියි, කර්‍මය පිළිබඳ වස්තුව දනියි. කර්‍මය පිළිබඳ වත දනියි, කර්‍මය පිළිබඳ සන්හිඳීම දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඳප්ති නො දනියි, පද පෙරළිය නො දනියි, ගැළපෙන වදන් මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කට යුතු යි. කවර පසෙකින් ද යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, පද පෙරළිය දනියි, ගැළපෙන වදන් මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.