2. න පටිප්පස්සමහන වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණක්හුගේ (විනය) කර්‍මය නො සන්හිඳුවියයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණක්හුගේ (විනය) කර්‍මය නො සන්හිඳුවියයුතු ය. කවර පසෙකින් ද යත්: ඇවැතට පැමිණියේ (තජ්ජනීයාදි) කර්‍ම කරණ ලද්දේ උපසපන් කරවයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවයි, භික්බුනෝවාදක සම්මුතිය ඉවසයි, සම්මුතිය ලද්දේ නමුදු මෙහෙණන්ට ඔවා දේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ කර්‍මය නො සන්හිඳුවියයුතු යි.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණක්හුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් කර්‍මය කරණ ලද නම් (නැවැත) ඒ ඇවැතට පැමිණෙයි, එබඳු වූ අනෙක් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ඉතා ලමු ඇවැතකට හෝ පැමිණෙයි, කර්‍මයට ගර්‍හා කෙරෙයි. කර්‍මය කළවුන්ට ගර්‍හා කෙරේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණක්හුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: බුදුන්ගේ අගුණ කියයි, ධර්‍මයෙහි අගුණ කියයි, සඞ්ඝයාගේ අගුණ කියයි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණක්හුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: ලජ්ජා නැත්තේත් වෙයි, අඥාන වූයේත් වෙයි, ප්‍රකෘතියෙහි පිහිටි භික්‍ෂුත්‍වය නැත්තේත් වෙයි. සිකපද මඩිමින් ක්‍රියා කරන්නේත් වෙයි. වත්හිද සිඛයෙහි ද සම්පූර්‍ණ කිරීම් නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි.
5. වහන්ස, සඞ්ගාමාවචර (අධිකරණ විනිශ්චය පිණිස රැස් වූ සඞ්ඝයා වෙත එළඹෙන) මහණ විසින් කෙතෙක් කරුණු තම සිතෙහි එළවාගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතු ද?
උපාලි, සංග්‍රාමාවචර මහණ විසින් කරුණු පසක් තම සිතෙහි එළවා ගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතුයි. කවර පසෙක් ද යත්: උපාලි, සඞ්ගාමාවචර මහණ විසින් පාපිස්නක් හා සම වූ නිහතමාන සිතින් යුතු වැ සඞ්ඝයා වෙත එළඹිය යුතු යැ. නිදොස් වැ හිඳීමෙහි දක්‍ෂවූවහු විසින් අසුනක් (තෝරා) ගැන්මෙහි සමත් වියයුතු යැ ස්ථවිර භික්‍ෂූන් නොගටමින් නවක භික්‍ෂූන් ආසනයෙන් බැහැර නොකරමින් (තමහට) සුදුසු අස්නෙකැ හින්ද යුතු යැ. තිරශ්චීන කථාවන් ගෙන් තොර වැ නානාවිධ අනර්‍ත්‍ථකථා නොකරන්නකු වියයුතු යැ. තමා හෝ දහමක් දෙසිය යුතු යැ අනෙකකුට හෝ ආරාධනා කටයුතු යැ ආර්‍ය්‍ය නිශ්ශබ්දභාවය හෝ නොඉක්ම වියයුතු යි. උපාලි, ඉදින් සඞ්ඝ තෙමේ සමග වූවන් විසින් කටයුතු වූ (උපෝසථාදි) කර්‍මයන් කෙරේ ද උපාලි, ඉදින් එහි දී (යම්කිසි) මහණක්හට එය රුචි නො වේ නම් ඇවැත් දෙසීමවත් කොට සමගිය එළවිය යුතු යි. ඊට හේතු කවරේ ද මම සඞ්ඝයාගෙන් වෙනස් වූ වෙම් නො වන්නෙමි, කියායි. උපාලි සඞ්ගාමාවචර මහණ විසින් මේ කරුණු පස තම සිත්හි පිහිටුවා ගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතු යි.
6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, අධිකරණ විනිශ්චය කරන්නේ බොහෝදෙනාට අප්‍රියයෙක් වේ ද, බොහෝදෙනාගේ මන නොවඩන්නෙක් වේ ද, බොහෝදෙනාට රුචි නොවන්නෙක් වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ අධිකරණ විනිශ්චය කරන්නේ බොහෝදෙනාට අප්‍රියයෙක් වෙයි, බොහෝදෙනාගේ මන නොවඩන්නෙක් ද වෙයි, බොහෝදෙනාට රුචි නොවන්නෙක් ද වෙයි, කවර පසෙකින් ද යත්: තමා හුවා දක්වන කථා ඇත්තේත් වෙයි, අනුන් ඇසුරු කොට තමන් හුවා දක්වන කථා ඇත්තේත් වෙයි. කථානුසන්‍ධියෙහිත් විනිශ්චයානුසන්‍ධියෙහිත් දක්‍ෂ නො වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ නො වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) නො කරවන්නේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි. බොහෝ දෙනාගේ මන නොවඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි නොවන්නෙක් ද වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි වූවෙක් ද වෙයි. කවර පසෙකින් ද යත්: තමා හුවා දක්වන කථා නැත්තේ වෙයි. අනුන් ඇසුරු කොට තමා හුවා දක්වන කථා නැත්තේත් වෙයි. කථානුසන්‍ධියෙහිත් විනිශ්චයානුසන්‍ධියෙහිත් දක්‍ෂ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) කරවන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රියයෙක් ද වෙයි. බොහෝ දෙනාගේ මන වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි කරන්නෙක් ද වේ.