14. කඨිනත්‍ථාර වර්‍ගය
1. වහන්ස, කඨින ඇතිරීමෙහි අනුසස් කෙතෙක් ද?
උපාලි, කඨින ඇතිරීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙකැ යත්: (අරම්වැසි මහණුන් නො විචාරා ගම් වදනා) අනාමන්තචාර යැ. (තුන්සිවුරින් එකක් තබා යන) අසමාදානචාර යැ, (නො කැප බසින් කැඳවා දෙන) ගණනභෝජන යැ, කැමැති තාක් (නො ඉටු, නො විකැප වූ) චීවර පරිභෝග යැ, ඒ කඨින අතුළ වෙහෙරැ යම් චීවරොත්පාදයෙක් ඇද්ද, එය ඒ කඨින අතුළ මහණුන් අයත් වන්නේ යැ යන පස යි. උපාලි, මේ වනාහි කඨින ඇතිරීමෙහි පඤ්ච ආනිසංසයෝ යි.
2. වහන්ස, මුළා සිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා නැති වැ නිදි වදනාහට ආදීනව කෙතෙක් ද?
උපාලි, මුළාසිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා නැති වැ නිදි වදනාහට මේ ආදීනව පසෙකි. කවර පසෙකැ යත්: දුකසේ නිදයි. දුකසේ පුබුදියි, ලාමක සිහින දකියි, දෙවියෝ නො රකිති, සුකුරු මිදේ, උපාලි, මොහු වනාහි මුළාසිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා නැති වැ නිදි වදනාහට පඤ්ච ආදීනවයෝ යි.
උපාලි, එළැඹ සිටි සිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ, නිදි වදනාහට මේ ආනිසංස පසෙකි. කවර පසෙක යත්: සුවසේ නිදයි, සුවසේ පුබුදියි, ලාමක සිහින නො දකියි, දෙවියෝ රකිති, සුකුරු නො මිදේ. උපාලි, මොහු වනාහි එළඹැසිටි සිහි ඇති වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ නිදි වදනාහට පඤ්ච ආනිසංසයෝ යි.
3. වහන්ස, අවන්‍ද්‍ය (නො වැන්දයුතු) පුද්ගලයෝ කෙතෙක් ද?
උපාලි, මේ අවන්‍ද්‍යයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: ඇතුළු ගමට පිවිසියේ අවන්‍ද්‍ය යැ. වීථියට ගියේ. අවන්‍ද්‍ය යැ, අඳුරෙහි හුන්නේ අවන්‍ද්‍ය යැ, (කෘත්‍යය නිරත බැවින්) වඳනා බව නො දන්නේ අවන්‍ද්‍ය යැ, නිදාගත වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
4. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකt යත්: හුළුකැන් වළඳන සමයෙහි අවන්‍ද්‍ය යැ, භක්තාශ්‍රයෙහි අවන්‍ද්‍ය යැ, වෛරීපුද්ගල අවන්‍ද්‍ය යැ, අන්‍යවිහිත වූයේ අවන්‍ද්‍ය යැ, නග්න වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
5. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: (අවුළු ඈ) කමින් සිටියේ අවන්‍ද්‍ය යැ, (අහර) බුදිමින් සිටියේ අවන්‍ද්‍ය යැ, වස් පවත්මින් සිටියේ අවන්‍ද්‍ය යැ, සුළුදියටනු කරමින් සිටියේ අවන්‍ද්‍ය යැ, උඛෙව්නීකම් කරනලද්දේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
6. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: පළමු උපසපන් වූවහු විසින් පසු වැ උපසපන් වූයේ අවන්‍ද්‍ය යැ, අනුපසම්පන්න වූයේ අවන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධතර අධර්‍මවාදී වූයේ අවන්‍ද්‍ය යැ, මාගම අවන්‍ද්‍ය යැ, පණ්ඩක අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
7. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: පිරිවෙස් පුරන්නේ අවන්‍ද්‍ය යැ, මූලායපටිකස්සන කර්‍මයට නිසි වූයේ අවන්‍ද්‍ය යැ. මානතට නිසි වූයේ අවන්‍ද්‍ය යැ, මානත් පුරන්නේ අවන්‍ද්‍ය යැ, අබ්හානකර්‍මයට නිසි වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
8. වහන්ස, වන්‍ද්‍ය (වැන්ද යුතු) පුද්ගලයෝ කෙතෙක් ද?
උපාලි, මේ වන්‍ද්‍යපුද්ගලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පසුව උපසපන් වූවහු විසින් පළමු උපසපන් වූයේ වන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධකර ධර්‍මවාදී වූයේ වන්‍ද්‍ය යැ, ඇදුරු තෙර වන්‍ද්‍ය යැ, වත්තෙර වන්‍ද්‍ය යැ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති ලෝකයෙහි තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුහු වන්‍ද්‍යයහ. උපාලි, මොහු පස්දෙන වන්‍ද්‍යයෝ යි.