13. ආවාසික වර්ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද එසේ නරකයෙහි බහා තැබුයේ වෙයි. කවර පසෙකින් ද යත්: ඡන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, සඟසතුවූවක් පෞද්ගලික පරිභෝගයෙන් පරිභෝග කෙරෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ නිරයෙහි උපදනේ වේ.
2. උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්ගයෙහි බහා තැබුයේ වෙයි, කවර පසෙකිනැ යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, සඟසතු වූවක් පෞද්ගලික පරිභෝගයෙන් පරිභෝග නො කරයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ආවාසික මහණ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්ගයෙහි උපදනේ වේ.
3. වහන්ස, නො දැහැමි විනය පැණ විසඳීම්හු කෙතෙක් ද?
උපාලි, මේ නො දැහැමි විනය පැණ විසඳීම්හු පසෙකි. කවර පසෙකැ යත්: උපාලි, මේ සස්නෙහි මහණ අධර්මය ධර්ම යැ යි කියයි, ධර්මය අධර්ම යැ යි කියයි, අවිනය විනය යැ යි කියයි, විනය අවිනය යැ යි කියයි, නො පණවන ලද්දක් පණවයි, පණවන ලද්දක් සිඳී. උපාලි, මේ නො දැහැමි විනය පැණ විසඳීම් පස යි.
4. උපාලි, මේ දැහැමි විනය පැණ විසඳීම්හු පසෙකි. කවර පසෙක යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්මය අධර්ම යැයි කියයි, ධර්මය ධර්ම යැ යි කියයි, අවිනය අවිනය යැ යි කියයි, විනය විනය යැ යි කියයි, නො පණවන ලද්දක් නො පණවයි, පණවන ලද්දක් නො සිඳී. උපාලි, මේ දැහැමි විනය පැණ විසඳීම් පස යි.
5. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ. කවර පසෙකින් ද යත්: ඡන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, උදෙස්නා ලද්දවුන් නො උදෙස්නා ලද්දවුන් නො දනියි. උපාලි, මේ අඞ්ග පසින් යුක්තවූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ.
6. උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්ගයෙහි උපදනේ වෙයි. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, උදෙස්නා ලද්දවුන් හා නො උදෙස්නා ලද්දවුන් දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භත්තුද්දෙසක ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්ගයෙහි උපදනේ වේ.
7. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ සෙනසුන් පණවන්නා ... භාණ්ඩාගාරිකයා ... සිවුරු පිළිගන්නා ... සිවුරු බෙදන්නා ... කැඳ බෙදන්නා ... පලතුරු බෙදන්නා ... කදු (කැවිලි) බෙදන්නා ... සුලු පිරිකර බෙදන්නා ... වැසිසළු බෙදන්නා ... පාත්ර ගන්වන්නා ... ආරාමිකයන් මෙහෙයවන්නා ... හෙරණුන් මෙහෙයවන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ හෙරණුන් මෙහෙයවන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි බහා තැබුයේ වෙයි. කවර පසෙකින් ද යත්: ඡන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, මෙහෙයනු ලැබූවන් හා නො මෙහෙයනු ලැබුවන් නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ හෙරණුන් මෙහෙයවන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ නරකයෙහි උපදනේ වේ.
8. උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ හෙරණුන් මෙහෙවරැ යොදන්නේ ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්ගයෙහි බහා තැබුයේ වෙයි. කවර පසෙකින් ද යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, මෙහෙයවනු ලැබූවන් හා නො මෙහෙයවනු ලැබූවන් දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ හෙරණුන් මෙහෙවරැ යොදන්නා ගෙණවුත් තැබූ බරක් යම්සේ ද, එසේ ස්වර්ගයෙහි උපදනේ වේ.
තෙළෙස්වන ආවාසික වර්ගය නිමි.
එහි නාමාවලිය:
ආවාසික යැ, ඛ්යාකරණ යැ, භත්තුද්දෙසක යැ, සේනාසන යැ, භණ්ඩාගාරික යැ. චීවරගාහක යැ. චීවරභාජක යැ,
යාගුභාජක යැ, ඵලභාජක යැ, ඛජ්ජභාජක යැ, අප්පමත්තවිස්සජ්ජක යැ, සාටිකගාහක යැ, පත්තගාහක යැ, ආරාමිකසේසක යැ, සාමණේරපෙසක යැ යි.
14. කඨිනත්ථාර වර්ගය
1. වහන්ස, කඨින ඇතිරීමෙහි අනුසස් කෙතෙක් ද?
උපාලි, කඨින ඇතිරීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙකැ යත්: (අරම්වැසි මහණුන් නො විචාරා ගම් වදනා) අනාමන්තචාර යැ. (තුන්සිවුරින් එකක් තබා යන) අසමාදානචාර යැ, (නො කැප බසින් කැඳවා දෙන) ගණනභෝජන යැ, කැමැති තාක් (නො ඉටු, නො විකැප වූ) චීවර පරිභෝග යැ, ඒ කඨින අතුළ වෙහෙරැ යම් චීවරොත්පාදයෙක් ඇද්ද, එය ඒ කඨින අතුළ මහණුන් අයත් වන්නේ යැ යන පස යි. උපාලි, මේ වනාහි කඨින ඇතිරීමෙහි පඤ්ච ආනිසංසයෝ යි.