අනුවිජ්ජකානුයෝගය
“අනුවිජ්ජකෙන චෝදකො පුච්ඡිතබ්බො” යනු: ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහුගේ පවාරණය තබවු නම් එය කවර විපත්තියෙක ලා තබවු ද: “ශීලවිපත්තියෙහි ලා තබවු ද, ආචාරවිපත්තියෙහි ලා තබවු ද, දෘෂ්ටිවිපත්තියෙහි ලා තබවු දැ’ යි.
ඉදින් ඒ චෝදක මහණ මෙසේ කියා නම්: “ශීලවිපත්තියෙන් හෝ තබමි, ආචාරවිපත්තියෙන් හෝ තබමි, දෘෂ්ටිවිපත්තියෙන් හෝ තබමි” යි.
ඒ චෝදක මහණ මෙසේ කියැයුතු වන්නේ යැ: “ආයුෂ්මත් තෙම ශීලවිපත්ති දනී ද, ආචාරවිපත්ති දනී ද, දෘෂ්ටිවිපත්ති දනී ද” යි.
ඉදින් හෙ මෙසේ කියා නම්: “ඇවැත්නි, මම ශීලවිපත් දනිමි, ආචාරවිපත් දනිමි, දෘෂ්ටිවිපත් දනිමි” යි.
හෙ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි, ශීලවිපත් නම් කවරැ ආචාරවිපත් කවරැ දෘෂ්ටිවිපත් කවරැ” යි.
ඉදින් හෙ මෙසේ කියා නම්: ‘ සතර පරිජි යැ තෙළෙස් සඟවෙසෙස් යැ යන මේ ශීලවිපත්ති යැ. ථුලැසි යැ පචිති යැ පිළිදෙස්නී යැ දුකුළා යැ දුබැසි යැ යන මේ ආචාරවිපත්ති යැ, මිථ්යාදෘෂ්ටි යැ අන්තග්රාහිකදෂ්ටි යැ යන මේ දෘෂ්ටිවිපත්ති” යි.
ඒ චෝදක මහණ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි තෙපි යම්හෙයෙකින් මෙ මහණහට පවාරණට්ඨපන කරන්නහු දෘෂ්ටයෙන් තබවු ද, ශ්රැතයෙන් තබවු ද, පරිශඞ්කායෙන් තබවු දැ” යි.
ඉදින් හෙ මෙසේ කියා නම්: “දෘෂ්ටයෙන් හෝ තබමි, ශ්රැතයෙන් හෝ තබමි, පරිශඞ්කායෙන් හෝ තබමි” යි.
හේ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි, යම්හෙයෙකින් තෙපි මේ මහණහට දෘෂ්ටයෙන් පවාරණට්ඨපන කරන්නහු නම් තොප විසින් කුමක් දක්නාලද ද, තොප විසින් කෙසේ දක්නාලද ද, තොප විසින් කවරදා දක්නාලද ද, තොප විසින් කොහි දී දක්නාලද ද, පරිජිඇවැත් අවදනේ දක්නාලද ද, සඟවෙසෙස් - ථුලැසි - පචිති - පිළිදෙස්නී - දුකුළා - දුබැසි ඇවැත් අවදනේ දක්නාලද ද, තෙපි කොහි වූවහු ද, යළි මෙ මහණ කොහි වී ද, තෙපි කුමක් කරවු ද, මෙ මහණ කුමක් කෙරේ දැ” යි.
ඉදින් හේ මෙසේ කියා නම්: “ඇවැත්නි මම් මේ මහණහට දෘෂ්ටයෙන් පවාරණට්ඨපන නො කෙරෙම් මැ යැ. එතෙකුදුවත් ශ්රැතයෙන් පවාරණට්ඨපන කෙරෙමි” යි.
හෙ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහට ශ්රැතයෙන් පවාරණට්ඨපන කරවු නම් තොප විසින් කුමක් අසනලද ද, තොප විසින් කෙසේ අසනලද ද, තොප විසින් කවර කලෙක අසනලද ද, තොප විසින් කොතන්හි අසනලද ද, පරිජිඇවැත් අවනැයි අසනලද ද, සඟවෙසෙස් ඇවැත් අවනලැයි අසනලද ද, ථුලැසි - පචිති - පිළිදෙස්නී - දුකුළා - දුබැසි ඇවැත් අවනැයි අසනලද ද, මහණක්හු කියන්නා අසනලද ද, මෙහෙණක කියන්නා අසනලද ද, සික්ඛමානාවක කියන්නා අසනලද ද, හෙරණක්හු කියන්නා අසනලද ද, හෙරණක කියන්නා අසනලද ද, උවසුවක්හු කියන්නා අසනලද ද, උවැසියක කියන්නා අසනලද ද, රජුන් කියන්නා අසනලද ද, රජමහඇමැතියන් කියන්නා අසනලද ද, තීර්ත්ථකයන් කියන්නා අසනලද ද, තීර්ත්ථකශ්රාවකයන් කියන්නා අසනලද දැ” යි.
ඉදින් හේ මෙසේ කියා නම්: “ඇවැත්නි, මම් මේ මහණහට ශ්රැතයෙන් පවාරණට්ඨපන නො කෙරෙම් මැ යැ. එතෙකුදුවත් පරිශඞ්කායෙන් පවාරණට්ඨපන කෙරෙමි” යි.
හෙ මෙසේ කියැයුතු වන්නේ යැ: ‘යම්හෙයෙකින් ඇවැත්නි, තෙපි මේ මහණහට සැකයෙන් පවාරණට්ඨපන කරවු නම්, කුමක් සැක කරවු ද, කෙසේ සැක කරවු ද, කවර කලෙක සැක කරවු ද, කොතන්හි සැක කරවු ද, පරිජි ඇවැත් අවනැයි සැක කරවු ද, සඟවෙසෙස් - ථුලැසි - පචිති - පාටිදේසනීය - දුකුළා - දුබැසි ඇවැත් අවනැයි සැක කරවු ද, මහණක්හු කියන්නා අසා සැක කරවු ද, මෙහෙණක කියන්නා අසා සැක කරවු ද, සික්ඛමානාවක කියන්නා අසා සැක කරවු ද, හෙරණක්හු කියන්නා අසා සැක කරවු ද, හෙරණක කියන්නා අසා සැක කරවු ද, උවසුවක්හු කියන්නා අසා සැක කරවු ද, උවැසියක කියන්නා අසා සැක කරවු ද, රජුන් කියන්නා අසා සැක කරවු ද, රජමහඇමැතියන් කියන්නා අසා සැක කරවු ද අන්තොටුවන් කියන්නා අසා සැක කරවු ද, අන්තොටුසව්වන් කියන්නා අසා සැක කරවු දැ” යි.