20. අඳනා සිවුරෙන් හඳනා ලද්දේ සඟළ සිවුර උතුරුසඟසිවුර හා එක්කිරීමෙන් ද්විගුණ කොට පොරෝනා ලද්දේ (ඒ තුන් සිවුර කයින් වෙන් වූයේ) ඒ සියලු සිවුරු නිසඟි වෙත්. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය නො නෑ මෙහෙණක ලවා සිවුරු දෙවීම සඳහා කියන ලදි.)
21. ඤත්තිය ද නැත. කර්‍මවාක්‍යය ද නැත. සර්‍වඥ තෙමේ “එව මහණ යි” නො වදාළේ ය. ඔහුට සරණාගමනෝපසම්පදාව ද නැත. (එහෙත්) උපසපන් යැ. ඔහුගේ උපසම්පදාව ද අකෝප්‍ය වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මහාපජාපති ගොතමියගේ අෂ්ටගුරුධර්‍ම ප්‍රතිග්‍රහණ උපසම්පදාව සඳහා කියන ලදි.)
22. ස්ත්‍රියක නසන්නේ ය. (එහෙත්) මව නො වෙයි. පුරුෂයකුදු නසන්නේ ය. (එහෙත්) පියා නො වෙයි. අඥානපුද්ගල තෙමේ මෙසේ ආර්‍ය නො වූ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නසන්නේ ය. ඒ නැසීම් හේතුවෙන් ආනන්තර්‍ය්‍යකර්‍මය ස්පර්‍ශ කරන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය කර්‍මවිපාක හේතුවෙන් ලිඞ්ග පරිවර්‍තනයෙන් ස්ත්‍රී වූ පියා ද පුරුෂ වූ මව ද නසන්නහු සඳහා කියන ලදි.)
23. මව වූ ස්ත්‍රිය ද නසන්නේ ය. පිය වූ පුරුෂයා ද නසන්නේ ය. මෙසේ මව ද පියා ද නසා ඒ කර්‍මය හේතුකොට ගෙණ ආනන්තර්‍ය්‍ය කර්‍මය ස්පර්‍ශ නො කරන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මිනිස් වැ සිට තිරිසන් වූ දෙමවුපියන් නසන්නවුන් සඳහා කියන ලදි.)
24. චෝදනා නො කොට සිහි නො කරවා හමු නොවුවහුට කර්‍මය කරන්නේ ය කරණ ලද කර්‍මය මොනවට කරණ ලද වන්නේ ය. කාරක සඞ්ඝ තෙමේ ද ආපත්ති රහිත වන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය දූතයකු ලවා උපසපන් කරවීම සඳහා කියන ලදි.)
25. චෝදනා කොට සිහි කරවා හමුවූවහුට කර්‍මය කරන්නේ ය. කරණ ලද කර්‍මය ද නො කරණ ලද වන්නේ ය. කාරකසඞ්ඝ තෙමේ ද ආපත්ති සහිත වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය පණඩකාදීන්ගේ උපසම්පදාව සඳහා කියන ලදි.)
26. රුක් ඈ සිඳින්නහුට ඇවැත් වේ. කෙස් ඈ සිඳින්නහුට ඇවැත් නො වේ. (ඇවැත් ඈ) වසන්නහුට ඇවැත් වේ. (ගේදොර) වසන්නහුට ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි.
27. සත්‍යය කියන්නේ ගරු ඇවැතට පැමිණෙයි, බොරු කියන්නහුට ලුහු ඇවැත් වෙයි, බොරු කියන්නේ ගරු ඇවැතට පැමිණෙයි, සත්‍යය කියන්නහුට ලුහු ඇවැත් වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි.
28. ඉටන ලද්දා වූ ද කැපරඳනින් රඳන ලද්දා වූ ද කප්බින්‍දු තබන ලද්දා වූ ද (සිවුරක්) පිරිබෝ කරන්නහුට ඇවැත් වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය පළමු පරිභෝග කරමින් සිටිය දී නිසඟි වූ සිවුර නො නිසදා පරිභෝග කරන්නහු සඳහා කියන ලදි.)
29. හිරු අවරට ගිය කල්හි මහණ තෙමේ මස් අනුභව කරයි. උමතුවූවෙක් ද නො වෙයි. පෙරැළි සිතැත්තේ ද නො වෙයි. හෙතෙමේ වේදනායෙන් පෙළුනෙක් ද නො වන්නේ ය. (එහෙත්) ඔහුට ඇවැත් නො වේ. ඒ ධර්‍මය ද බුදුරජුන් විසින් දේශනා කරන ලද්දේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය වමාරා කන මහණහු සඳහා කියන ලදි.)
30. මෙවුන්දම්රායෙන් රත් වූ සිතැත්තේ නො වෙයි. සොරසිත් ඇත්තේ ද නො වෙයි. හෙතෙමේ මෙරමා නසනු පිණිස ද නො සිතී ය. ලභ දෙන්නහුට පරිජි වෙයි. පිළිගන්නහුට ථුලැසි වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (සඞ්ඝභේදයෙහි ලහ ගැන්වීම සඳහා කියන ලදි.)
31. සැක සහිත යැ යි සම්මත වූ වනසෙනසුනෙක් ද නො වෙයි. බිඳුනු සඟහු විසින් අවිප්පවාසසම්මුතිය දෙන ලද්දී නො වෙයි. ඒ පුද්ගලයා විසින් කඨිනයෙක් නො අතුරණ ලද්දේ ය. සැක සහිත යැ යි සම්මත වනසෙනසුනක් නො වූ තන්හි ම සිවුර තබා අඩ යොදුනක් තැන් යන්නේ ය. එහි ම අරුණ නගන්නහුට ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මනාව පිහිටි නුගරුක් වැනි එක් කුලයක් හුගේ රුක්මුල සඳහා කියන ලදි.)
32. කයින් සිදු වෙති. වචනයෙන් සිදු නො වෙති. සියල්ලෝ වෙන් වෙන් වූ වස්තු ඇත්තාහු වෙත්. පෙරැ පසු නො වැ එකවර (සඟවෙසෙස්) අවදනේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය බොහෝ මාගමුන්ගේ කෙස් හෝ ඇඟිලි හෝ එකට අල්වා සඟවෙසෙස් අවදනහු සඳහා කියන ලදි.)
33. වචනයෙන් සිදු වෙති. කයින් සිදු නො වෙති. වෙන් වෙන් වූ සියලු ඇවැතුන්ට පෙරැ පසු නො වැ එකවර පැමිණෙන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය “සබ්බාව තුම්හෙ සිඛරණියෝ “යනාදි විසින් තුළුල් තෙපුල් කියන්නහු සඳහා කියන ලදි.)
34. මිනිස්, නො මිනිස්, තිරිසන් විසින් ස්ත්‍රීහු තිදෙනෙකි. (ඔවුන් හා) ඒ මෛථුන සේවනය ද නො කරන්නේ ය. මිනිස්, නො මිනිස්, නිරිසත් යන තුන් පුරුෂයන් වෙත ද, උභතෝබ්‍යඤ්ජනකසඞ්ඛ්‍යාත අනාර්‍ය්‍යයන් තිදෙන වෙත ද, පණ්ඩකයන් තිදෙන වෙත ද එළඹ මෙවුන්දම් සෙවුනේ ද නො වෙයි. ලම්බී මුදුපිට්ඨිකාදි අනුලොම් පාරාජික වස්තුවෙහි ද මෙවුන්දම් නො හැසිරෙන්නේ ය. (එහෙත්) මෛථුන ධර්‍ම හේතුවෙන් පරිජි වන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය අෂ්ට වස්තුක පාරාජිකාව සඳහා කියන ලදි.)
35. මවගෙන් සිවුරක් ඉල්ලන්නේ ය. සඞ්ඝයාහට පිරිනමන ලද්දෙක් ද නො වෙයි. නෑයන් විනවීමෙහි ඇවැත් නො වේ. ඔහුට කවර ශික්‍ෂාපදයෙකින් ඇවැත් වේ ද, මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය පිට්ඨිසමය නම් වූ ඉල්මස පසළොස්වක පටන් පොසොන් පසළොස්වක තෙක් සත් මස තුළ වස්සිකසාටික චීවරය පිණිස සතුප්පාදකරණය සඳහා කියන ලදි.)