4. 7.
1. දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ සිවු ඇවැතකට පැමිණෙයි: “එකකු නො උදෙසා යම් මැ එකෙක් වැටී මැරෙන්නේ මැනැවැ” යයි වළක් කණි නම් දුකුළා ඇවැත්වෙයි, මිනිසෙක් එහි වැටී මැරේ නම් පරිජි ඇවැත් වෙයි, යකෙක් හෝ ප්‍රේතයෙක් හෝ තිරිසන් ගිය මිනිස් සිරුරු ඇත්තෙක් හෝ එහි වැටී මැරේ නම් ථුලැසි ඇවැත් වෙයි, තිරිසන් ගතයෙක් එහි වැටී මැරේ නම් පචිති ඇවැත් වේ. දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ මේ සිවු ඇවැතට පැමිණේ.
2. දැන දැන පණුවන් සහිත පැන් වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳා නම් පියෝහි දුකුළා වෙයි, වැළඳු කල්හි පචිති ඇවැත් වේ.
3. දැහැමින් සන්සිඳුවන ලද අධිකරණයක් දැන දැන නැවැත විනිස පිණිස උගුළුවන (මතු කරණ) මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උගුළුවා නම් පියෝහි දුකුළා වෙයි, ඉගුළූ කල්හි පචිති ඇවැත් වේ.
4. මහණක්හුගේ තුළුල් ඇවැතක් දැන දැන සඟවන මහණ එක් ඇවැතකට පැමිණෙයි: පචිති ඇවත යි.
5. දැන දැන උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කළ කල්හි පචිති ඇවැත් වේ.
6. දැන දැන සොරසත්‍වාමුළක් සමග ගිවිස ගෙණ එක් අදන් මඟකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මඟට බසී නම් පියෝහි දුකුළා වෙයි, මගට බට කල්හි පචිති ඇවැත් වේ.
7. මාගමක හා ගිවිස ගෙණ එක් අදන්මගකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මඟට බසී නම් පියෝහි දුකුළා වෙයි, මඟට බට කල්හි පචිති ඇවැත් වේ.
8. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන මහණ ලාමක දෘෂ්ටිය නො හරිණුයේ දෙ ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. කම්වදන් පිරියතැ පචිති ඇවැත් වේ.
9. “අන්තරායකර” යයි බුදුරදුන් වදහළ දහම “අන්තරායකර නො වේ” යයි කියන, නො කළ ඔසාරණ කම් ඇති, ඒ දෘෂ්ටිය නො හළ මහණක්හු සමග දැන දැන ධර්‍මාමිෂ සම්භෝග කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සම්භෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සම්භෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
10. එසේ නෙරණ ලද හෙරණ දැන දැන ආමිෂයෙන් උපලාලන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සඞ්ග්‍රහ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සඞ්ග්‍රහ කළ කල්හි පචිති ඇවැත් වේ.
සත්වැනි සප්පාණක වර්‍ග යි.
4. 8.
1. භික්‍ෂූන් විසින් කරුණු සහිත වැ (සිකපදයෙන්) කියනු ලබන්නේ “ඇවැත ව්‍යක්ත විනයධර අන් මහණක්හු යම්තාක් නො විචාරම් ද ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: බෙණේ නම් පියෝහි දුකුළා වෙයි. බිණු කල්හි පචිති ඇවැත් වේ.
2. විනය සිකපදයනට අවමන් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
3. මුළා කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මෝහාරෝපණය නොකළ කල්හි මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෝහාරෝපණය කළ කල්හි මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.
4. මහණ කිපියේ නො සියමන් ව මහණක්හට පහර දෙන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: පහර දේ නම් පියෝහි දුකුළා වෙයි. පහර දුන් කල්හි පචිති ඇවැත් වේ.