2. කතාපත්තිවාරය
2. 1.
පාරාජික කාණ්ඩය
1. මෙවුන්දම් සේවනය කරන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
මෙවුන්දම් සේවනය කරන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: ක්‍ෂය නොවූ නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි. බෙහෙවින් ක්‍ෂය වූ නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලසි ඇවැත් වෙයි. විවර කළ මුඛයෙහි නො පහස්නා අඞ්ගජාතය ප්‍රවේශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෙවුන්දම් සේවනය කරන මහණ මේ තුන් ඇවතට පැමිණේ.
2. නො දුන් දැය (සොර සිතින්) ගන්නා මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්:
නො දුන් දෙය (සොර සිතින්) ගන්නා හේතුයෙන් තුන් ඇවතකට පැමිණෙයි: මසු පසක් හෝ අයිරාපස් මස්සක් හෝ අගනා නොදුන් දැයක් සොරසිතින් ගනී නම් පරිජි ඇවැත් වෙයි, අයිරා මස්සක් හෝ උනු පස් මස්සක් හෝ අගනා නො දුන් දැයක් සොර සිතින් ගනී නම් ථුලසි ඇවැත් වෙයි, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා නො දුන් දැයක් සොර සිතින් ගනී නම් දුකුළා ඇවැත් වේ. නො දුන් දැය ගන්නා මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
3. දැන දැන මිනිස් සතක්හු දිවි ගලවන මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්:
දැන දැන මිනිස් සතක්හු දිවි ගළවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: “(මෙහි) වැටී මැරේව” යි මිනිස් සතක්හු උදෙසා වළක් කණී නම් දුකුළා ඇවැත් වෙයි, එහි වැටුණු කල ඔහුට දුක් වේදනා උපදී නම් ථුලසි ඇවැත් වෙයි. මැරේ නම් පරිජි ඇවැත් වේ. දැන දැන මිනිස් සතක්හු දිවි ගළවන මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
4. (තමා කෙරෙහි) අවිද්‍යමාන වූ (ධ්‍යාන්‍යාදී) උතුරු මිනිස්ධර්‍ම තමා තුළ ඇතැයි පවසන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
අවිද්‍යමාන වූ උතුරු මිනිස්ධම් ඇතැයි පවසන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: ලාමක පැතුම් ඇත්තේ (එබඳු) ආශාවෙන් මඬනා ලද්දේ (තමා කෙරෙහි නැති) උතුරු මිනිස්ධම් (ඇතැයි) පවසා නම් පරිජි ඇවැත් වෙයි. “යමෙක් තොපගේ වෙහෙරෙහි වෙසේ ද ඒ මහණ රහත් යැ” යි දැනුමැතියක්හට පවසා නම් ථුලසි ඇවැත් වෙයි, දැනුම් නැතියක්හට පවසා නම් දුකුළා ඇවැත් වේ. අවිද්‍යමාන වූ උතුරු මිනිස්ධම් (ඇතැයි) පවසන මහණ මේ තුන් ඇවතට පැමිණේ.
සතර පිරිජි නිමි.
2. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. උපක්‍රම කොට සුකුරු මුදන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
උපක්‍රම කොට සුකුරු මුදන මහණ තුන් ඇවතකට පැමිණෙයි: සිතා ද උපක්‍රම කෙරේ ද සුකුරු මිදේ ද සඟවෙසෙස් ඇවැත් වෙයි, සිතා ද උපක්‍රම කෙරේ ද නො මිදේ ද ථුලැසි ඇවැත් වෙයි. පියෝ හි දුකුළා ඇවැත් වේ.
2. මාගමක හා කාසසඟයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි; කයින් කය පහරී ද සඟවෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයෙකින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද දුකුළා ඇවැත් වේ.
3. මාගමකට තුළුල් තෙපුල් කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: වසමඟ පසමඟ අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමග පසමග තබා අකු ඇටයෙන් යට දණ මඬලින් මතු කය අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයක් අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද දුකුළා ඇවැත් වේ.
4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා ද ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගියක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද දුකුළා ඇවැත් වේ.
5. මාගමුන් හා පිරිමින් අතරැ (හසුන් ගෙණ යනු එනු විසින්) සඤ්චරිත්තයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: (හසුන්) පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නො ගෙණේ නම් ථුලැසි ඇවත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නො ගෙණේ නම් දුකුළා ඇවැත් වේ. …
6. තමා ඉල්ලා ගත් උපකරණයෙන් කුටියක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා ද පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවත් වෙයි, ඒ පිඬ ද තැබූ කල්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
7. (කරවා දෙන හිමියන් ඇති) මහත් විහාරයක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් පිඬෙකින්, නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එ පිඬ ද තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරණ මහණ තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ සස්නෙන් නෙරණ අදහස් ඇති ව කියා නම් සඟ වෙසෙස් ඇවැත සමග දුකුළා ඇවැත වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කිරීමේ අදහස් ඇති ව කියා නම් ගටා බිණීම පිළිබඳ (ඔමසවාද) පචිති ඇවැත් වේ.