2. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. උපක්‍රම කොට සුකුරු මුදන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
උපක්‍රම කොට සුකුරු මුදන මහණ තුන් ඇවතකට පැමිණෙයි: සිතා ද උපක්‍රම කෙරේ ද සුකුරු මිදේ ද සඟවෙසෙස් ඇවැත් වෙයි, සිතා ද උපක්‍රම කෙරේ ද නො මිදේ ද ථුලැසි ඇවැත් වෙයි. පියෝ හි දුකුළා ඇවැත් වේ.
2. මාගමක හා කාසසඟයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි; කයින් කය පහරී ද සඟවෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයෙකින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද දුකුළා ඇවැත් වේ.
3. මාගමකට තුළුල් තෙපුල් කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: වසමඟ පසමඟ අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමග පසමග තබා අකු ඇටයෙන් යට දණ මඬලින් මතු කය අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයක් අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද දුකුළා ඇවැත් වේ.
4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා ද ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගියක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද දුකුළා ඇවැත් වේ.
5. මාගමුන් හා පිරිමින් අතරැ (හසුන් ගෙණ යනු එනු විසින්) සඤ්චරිත්තයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: (හසුන්) පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නො ගෙණේ නම් ථුලැසි ඇවත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නො ගෙණේ නම් දුකුළා ඇවැත් වේ. …
6. තමා ඉල්ලා ගත් උපකරණයෙන් කුටියක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා ද පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවත් වෙයි, ඒ පිඬ ද තැබූ කල්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
7. (කරවා දෙන හිමියන් ඇති) මහත් විහාරයක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් පිඬෙකින්, නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එ පිඬ ද තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරණ මහණ තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ සස්නෙන් නෙරණ අදහස් ඇති ව කියා නම් සඟ වෙසෙස් ඇවැත සමග දුකුළා ඇවැත වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කිරීමේ අදහස් ඇති ව කියා නම් ගටා බිණීම පිළිබඳ (ඔමසවාද) පචිති ඇවැත් වේ.
9. අන්‍යභාග වූ අධිකරණයක්හුගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ උපසපනක්හට පරිජි ඇවතින් චෝදනා කරණ මහණ තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ සස්නෙන් නෙරණ අදහස් ඇති ව කියා නම් සඟ වෙසෙස සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කරණ අදහස් ඇති ව කියා නම් ගටා බිණීම පිළිබඳ පචිති ඇවැත් වේ.
10. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණු ලබන සඞ්ඝභේදක මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, කම්මවාචා දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
11. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන භේදානුවත්තක මහණහු ඒ වරද නො හරනාහු නම් තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙහි දුකුළා වෙයි, කම්වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
12. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන නො කීකරු මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, කම් වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
13. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන කුලදූසක මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. කම් වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම්වදන් පිරියතැ සඟ වෙසෙස් ඇවැත් වේ.
තෙළෙස් සඟවෙසෙස් නිමි.
2. 3.
නිස්සග්ගිය කාණ්ඩය
3. 1.
1. (නො ඉටු නො විකැපු) අතිරේක චීවරයක් දස දිනක් ඉක්මවන මහණ එක් නිසගි පචිති ඇවතකට පැමිණේ.
2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
3. අයල් සිවුරක් පිළිගෙණ මසක් ඉක්මවන මහණ එක් නිසඟිපචිති ඇවැතකට පැමිණේ.
4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් ධෝවන කර වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි, ධෝවන කරවා නිමි කල්හි නිසඟි පචිති වේ.
5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි නිසඟි පචිති වේ.