විනිශ්චිතවස්තු
උද්දානගාථා:
සුත්තාය, මතාය, නික්ඛන්තාය, අනිත්ථිය, ඉත්ථිපණ්ඩකාය, කලහසම්මෝදනය, පණ්ඩකසඤ්චරිත්තය යි මෙහි වස්තු සතෙකි.
1. එසමයෙහි එක්තරා පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් ස්ත්රිය විමසන්නැ”යි එක්තරා මහණකු ඇණවී ය. හෙතෙමේ ගොස් “මෙනම් තැනැත්තී කොහිදැ”යි මිනිසුන් විචාළේ ය. “වහන්ස, ඕ නිද්රෝපගත ය”යි මිනිස්සු කීහ. “කිම? මම සඟවෙසෙස්ඇවැත් අවන්නෙම්දැ”යි ඒ මහණහට කුකුස් විය. භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නොවේ. දුකුළාඇවැත් වේ.”යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. (1)
2. එසමයෙහි එක්තරා පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් ස්ත්රිය විමසන්නැ”යි එක්තරා මහණකු ඇණවී ය. හෙතෙමේ ගොස් “මෙ නම් තැනැත්තිය කොහිදැ”යි මිනිසුන් විචාළේ ය. “වහන්ස, ඕ මළාය”යි ඔහු කීහ. ... “වහන්ස, ඕ නික්ම ගියා ය” ... “වහන්ස, ඒ ස්ත්රියක් නොවේ.” ... “වහන්ස, ඕ ස්ත්රීපණ්ඩකාවකැ”යි ඔහු කීහ. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ.” (2-5)
3. එසමයෙහි එක්තරා ස්ත්රියක් හිමියා සමග ඩබර කොට ගෙණ මවුගේ ගෙට ගියා ය. කුලුපග මහණෙක් ඇය ඔවා දී සනසා සැමියා වෙත පෙරළා යැවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සැමියා විසින් අනුශාස්ය නොවූවක් වේ ද?” ... “භාග්යවතුන් වහන්ස, එසේ අනුශාස්යවූවක් නොවේ” ... “මහණ, අනුශාස්යවූවක පිණිස ඇවැත් නොවේ.” (6)
4. එ සමයෙහි එක්තරා මහණෙක් පණ්ඩකයෙකු කෙරෙහි සංචරණභාවයට පැමිණියේ ය. ඒ මහණහට “කිම? මම් සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දෝ”යි කුකුස් විය. භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නොවේ. ථුලැසි ඇවැත් වේ” ... (7)
සඤ්චරිතශික්ෂාපදය නිමි.
3. 6.
කුටිකාරශික්ෂාපදය
1. එ සමයෙහි භාග්යවතුන් වහන්සේ කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි අළවු රට වැසි මහණහු ඉල්ලාගත් උපකරණ ඇති, කරවා දෙන හිමියන් නැති, ඉක්මවූ පමණ ඇති, තමන් උදෙසා වූ කුටි කරවත්. ඒ කුටීහු නිමාවට නොයෙත්. ඒ මහණහු “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, ගොණකු දෙන්න, ගැළක් දෙන්න, වෑයක් දෙන්න, පොරොවක් දෙන්න, කෙටේරියක් දෙන්න, උදැල්ලක් දෙන්න, නියනක් දෙන්න, වැලක් දෙන්න, හුණගසක් දෙන්න, මුදුතණ දෙන්න, බබුස්තණ දෙන්න, කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යි යැදීම් බහුල කොටැති ව විනවීම් බහුල කොටැති ව වෙසෙත්. මිනිස්සු ආයාචනයෙන් මිරිකුනෝ, විනවීමෙන් මිරිකුනෝ මහණුන් දැක උද්වේගයට ද පැමිණෙත්. තැති ද ගණිත්. පලා යෑම ද කෙරෙත්. අන් මඟෙකින් ද යත්. අන් දිගකට මුහුණ ද පෙරළත්. දොර ද වසත්. ඈත දෙනක ද දැක “මහණහු”යි හඟිමින් පලායෙත්.
2. එකල්හි මහසුප් තෙරණුවෝ රජගහනුවර වස් වැස පවරා අළවු නුවරට වැඩියහ. එසමයෙහි මහසුප් තෙරණුවෝ අළවු නුවරට නොදුරු නොළං තන්හි වූ අග්ගාලව නම් චෛත්යස්ථානයෙහි වෙසෙත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ අළවු නුවරට පිඬු පිණිස පිවිසියහ. මිනිස්සු තෙරුන් දැක උද්වීග්න වෙත්. තැති ගණිත්. පලා යෙත්. මඟ වළහා යෙත්. මුහුණ අන් අතකට ද පෙරළත්. දොර ද පියත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ අළවු නුවර පිඬු පිණිස හැසිර පිඬුවායෙන් වැළකුණෝ පසුබත්හි භික්ෂූන් අමතා මෙසේ වදාළහ: