3. 6.
කුටිකාරශික්ෂාපදය
1. එ සමයෙහි භාග්යවතුන් වහන්සේ කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි අළවු රට වැසි මහණහු ඉල්ලාගත් උපකරණ ඇති, කරවා දෙන හිමියන් නැති, ඉක්මවූ පමණ ඇති, තමන් උදෙසා වූ කුටි කරවත්. ඒ කුටීහු නිමාවට නොයෙත්. ඒ මහණහු “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, ගොණකු දෙන්න, ගැළක් දෙන්න, වෑයක් දෙන්න, පොරොවක් දෙන්න, කෙටේරියක් දෙන්න, උදැල්ලක් දෙන්න, නියනක් දෙන්න, වැලක් දෙන්න, හුණගසක් දෙන්න, මුදුතණ දෙන්න, බබුස්තණ දෙන්න, කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යි යැදීම් බහුල කොටැති ව විනවීම් බහුල කොටැති ව වෙසෙත්. මිනිස්සු ආයාචනයෙන් මිරිකුනෝ, විනවීමෙන් මිරිකුනෝ මහණුන් දැක උද්වේගයට ද පැමිණෙත්. තැති ද ගණිත්. පලා යෑම ද කෙරෙත්. අන් මඟෙකින් ද යත්. අන් දිගකට මුහුණ ද පෙරළත්. දොර ද වසත්. ඈත දෙනක ද දැක “මහණහු”යි හඟිමින් පලායෙත්.
2. එකල්හි මහසුප් තෙරණුවෝ රජගහනුවර වස් වැස පවරා අළවු නුවරට වැඩියහ. එසමයෙහි මහසුප් තෙරණුවෝ අළවු නුවරට නොදුරු නොළං තන්හි වූ අග්ගාලව නම් චෛත්යස්ථානයෙහි වෙසෙත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ අළවු නුවරට පිඬු පිණිස පිවිසියහ. මිනිස්සු තෙරුන් දැක උද්වීග්න වෙත්. තැති ගණිත්. පලා යෙත්. මඟ වළහා යෙත්. මුහුණ අන් අතකට ද පෙරළත්. දොර ද පියත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ අළවු නුවර පිඬු පිණිස හැසිර පිඬුවායෙන් වැළකුණෝ පසුබත්හි භික්ෂූන් අමතා මෙසේ වදාළහ:
“ඇවැත්නි, මේ අළවුනුවර පෙර සුභික්ෂ විය. සුලභ පිඬු ඇති විය. පිඬු සිඟීමෙන් යැපීම පහසු විය. දැන් වනාහි මේ අළවුනුවර දුර්භික්ෂ ය. දුර්ලභ පිඬු ඇත්තේ ය. පිඬු සිඟීමෙන් යැපෙන්නට දුෂ්කර ය. ඇවැත්නි, යම් හෙයකින් මේ අළවුනුවර දුර්භික්ෂ නම්, දුර්ලභ පිඬු ඇත්තේ නම්, පිඬු සිඟීමෙන් යැපෙන්නට දුෂ්කර නම්, එයට හේතු කවරේ ද? ප්රත්යය කවරේ” ද? යනු යි. ඉක්බිති ඒ භික්ෂූහු මහසුප් මහතෙරුන්ට එ පවත් සැළ කළහ.
3. එකල්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වැස පිළිවෙළින් සැරි සරා වඩනා සේක්, අළවුනුවරට වැඩි සේක. එසමයෙහි භාග්යවතුන් වහන්සේ අළවුනුවර අග්ගාලව නම් චෛත්යස්ථානයෙහි වැඩ වසන සේක. ඉක්බිති මහසුප් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පසක ඉඳගත්හ. එකත් පසෙක හුන් මහසුප් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට එ පවත් සැළ කළහ.
4. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්රකරණයෙහි (ප්රස්තාවයෙහි) භික්ෂුසඞ්ඝයා රැස් කරවා අළවුවැසි මහණුන්ගෙන් මෙසේ විචාළ සේක: “සැබෑද, මහණෙනි? තෙපි කරවා දෙන හිමියන් නැති, පමණ ඉක්ම වූ, තමන් ඉල්ලා ගත් උපකරණ ඇති, තමන් උදෙසා වූ කුටි කරවවු ද? ඒ කුටීහු නිමාවට නො යෙත් ද? ඒ තෙපි “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, ... කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යි යැදීම් බහුල ව, විනවීම් බහුල, ව වසවු ද? මිනිස්සු යැදීමෙන් මිරිකුනෝ, විනවීමෙන් මිරිකුනෝ, මහණුන් දැක උද්වේගයට ද පැමිණෙත් ද? තැති ගණිත් ද? පලායෙත් ද? මඟ වළහා යෙත් ද? මුහුණු වෙන අතකට පෙරළත් ද? දොර වසත් ද? “මහණහු”යි හඟිමින් දෙනක ද දැක පලායෙත් ද?” “සැබව භාග්යවතුන් වහන්ස” යි ඒ මහණහු පිළිවදන් දුන්හ.
5. භාග්යවතුන් වහන්සේ ගැරැහූ සේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් ඉල්ලා ගත් උපකරණ ඇති, කරවා දෙන හිමියන් නැති, තමන් උදෙසා වූ, පමණ ඉක්ම වූ කුටි කරවවු ද?, ... ඒ කුටීහි නිමාවට නොයෙත්. ඒ තෙපි “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යී යැදීම් බහුලව විනවීම් බහුල ව වසවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නොවේ. ... යී ගරහා දැහැමි කතා කොට භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක: