3. 7.
විහාරකාරශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ උපස්ථායක වූ ගෘහපති තෙම ආයුෂ්මත් ඡන්න තෙරුන්ට මෙපවත් කීය: ‘වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේට විහාරයක් කරවන්නෙමි. විහාරයට ගෙබිමක් දනුව’යි. ඉක්බිති ආයුෂ්මත් ඡන්නයෝ විහාරවාස්තුව ශුද්ධ කරන්නාහු ගැමියන් විසින් පුදන ලද නියම්ගම් වැස්සන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැස්සන් විසින් පුදන ලද රටවැසියන් විසින් පුදන ලද එක්තරා සෑරුකක් සිඳැ වූහ. මනුෂ්‍යයෝ ‘කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ගැමියන් විසින් පුදන ලද නිගමුන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැස්සන් විසින් පුදන ලද රටවැස්සන් විසින් පුදන ලද සෑරුක සිඳැ වූහු ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ඒකින්‍ද්‍රියජීවය කලකුරුවති’යි මනුෂ්‍යයෝ අවමන් කෙරෙති. අයුණු කියති, දොස් පහළ කෙරෙති. භික්‍ෂූහු අවමන් කරන අයුණු කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. අල්පේච්ඡ වූ යම් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවමන් කෙරෙති. අයුණු කියති දොස් පහළ කෙරෙති. ‘කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙමේ ගැමියන් විසින් පුදන ලද … රටවැසියන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවී ද?’යි.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ඡන්න තෙරුන්ට නොයෙක් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ ... “සැබෑවෙක් ද ඡන්නය, තෝ ගැමියන් විසින් පුදන ලද … රටුන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවූයෙහිදැ?”යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්සැ’යි. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්‍හා කළහ. හිස් පුරුෂය, කෙසේ නම් තෝ ගැමියන් විසින් පුදන ලද නිගමුන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැසියන් විසින් පුදන ලද රටුන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවූයෙහි ද? හිස් පුරුෂය, මනුෂ්‍යයෝ වෘකෂයෙහි ජීවසංඥා ඇත්තාහු ම ය. හිස් පුරුෂය, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
“කරවා දෙන හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලක විහාරයක් කරවන මහණහු විසින් වාස්තුදේශනාව පිණිස භික්‍ෂූහු පැමිණවිය යුත්තාහ. ඒ භික්‍ෂූන් විසින් නිරුපද්‍රව වූ උපචාර සහිත වූ ගෙබිම දෙසියයුතු ය. ඉදින් මහණ තෙම උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ ගෙබිම්හි මහල්ලක විහාරයක් කරවා නම් වාස්තුදේශනාව පිණිස භික්‍ෂූන් නො පමුණුවා නම් සඟවෙසෙස් වේ ය”යි.
මහල්ලක නම්: සස්වාමික වූ විහාරය කියනු ලැබේ.
විහාර නම්: ඇතුළත පිරියම් කරණ ලදුයේ හෝ පිටත පිරියම් කරණ ලදුයේ හෝ ඇතුළත පිටත පිරියම් කරණ ලදුයේ හෝ වේ.
කාරයමානෙන යනු: කරණුයේ හෝ කරවනුයේ හෝ ය.
සස්සාමිකං යනු: ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ අන් කිසි හිමියෙක් වේ.
අත්තුදෙදසං යනු: තමා සඳහා.
භික්ඛු අභිනෙතබ්බා වත්‍ථුදේසනාය යනු: ඒ විහාරකාරක භික්‍ෂූහු විසින් විහාරවාස්තුව ශුද්ධ කොට සඟුන් වෙත එළැඹ උතුරුසඟ එකස් කොට මහලුතෙරුන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම කරවා දෙන හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම විහාරවාස්තු අවලෝකනයට සඞ්ඝයා අයැදිමි’යි. දෙවන වට ද යැදිය යුතු ය. තෙවන වට ද යැදිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ විහාරවාස්තුව බැලීම ඉවසා නම් හැම සඞ්ඝයා විසින් බැලිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ විහාරවාස්තුව බැලීම නො ඉවසා නම් සෝපද්‍රව අනුපද්‍රව බව සෝපචාර අනුපචාර බව දැනගන්නට ව්‍යක්ත වූ ප්‍රතිබල වූ යම් භික්‍ෂු කෙනෙක් එහි වෙත් නම් ඒ භික්‍ෂූහු අයැද සම්මත කළ යුත්තාහ. තවද මහණෙනි, මෙසෙයින් සම්මත කළ යුත්තාය: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හේ විහාරවාස්තුව බැලීමට සඞ්ඝයා අයැදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කරන්නේ ය. මේ ඤත්තිය යි’