සඞ්ඝාදිසේසකාණ්ඩය
3.
තේරසකය
ආයුෂ්මත්නි, මේ තෙළෙස් සඟවෙසෙස්ඇවැත්හු උදෙසීමට පැමිණෙත්.
3. 1.
සුක්කවිසට්ඨිශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් සෙය්‍යසක තෙමේ කළකිරුනේ බඹසර හැසිරෙයි. හෙතෙමේ එයින් කෘශ වූයේ රූක්‍ෂ වූයේ දුර්වර්‍ණ වූයේ අතිශයින් පඬුවන් වූයේ ඉල්පුනු නහරින් යුත් සිරුරු ඇත්තේ වෙයි.
2. ආයුෂ්මත් වූ උදායි තෙමේ කෘශ වූ රූක්‍ෂ වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ ඉල්පී ගිය නහරින් යුත් සිරුරු ඇති ආයුෂ්මත් සෙය්‍යසක මහණහට මෙය කීය: “ඇවැත් සෙය්‍යසකයිනි, තෙපි කුමක් හෙයින් කෘශ වූ රූක්‍ෂ වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පී ගිය සිරුරු ඇති වූවහු ද? ඇවැත් සෙය්‍යසකයිනි, කිම තෙපි කළකිරුනහු බඹසර හැසිරෙවු ද යනුයි. “ඇවැත්නි එසේ” යයි ඒ මහණ කීය. ඇවැත් සෙය්‍යසකයිනි, එසේ වී නම් තෙපි කැමැති තාක් අනුභව කරවු. කැමති තාක් සැතපෙවු. කැමැති තාක් ස්නානය කරවු. කැමැති තාක් අනුභව කොට කැමති තාක් සැතපී කැමති තාක් නා යම් කලෙක තොපට අනභිරතියක් උපදී නම් රාගය සිත මැඩ ගණී නම් එකල්හි අතින් ගටා සුකුරු මුදවු යයි උදායි තෙර කීය. ඇවැත්නි, එබන්දක් කරන්නට කැපදැ?යි ඒ මහණ ඇසී ය. ඇවැත්නි, එසේ ය. මම ද එසේ කරමි යි උදායි තෙර කී ය.
3. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක තෙමේ කැමැති තාක් වැළැඳී ය. කැමැති තාක් සැතපුනේ ය. කැමැති තාක් නෑවේ ය. කැමති තාක් වළඳා කැමැති තාක් සැතපී කැමැති තාක් නා යම් කලෙක අනභිරතිය උපදී ද, රාගය සිත මැඩ ගණී ද, එකල්හි අතින් ගටා සුකුරු මුදයි. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක තෙමේ පසු කාලයෙහි පැහැය ඇත්තෙක් ද පිණා ගිය ඉඳුරන් ඇත්තෙක් ද පහන් මුව පැහැය ඇත්තෙක් ද අතිශයින් සිවිපැහැ ඇත්තෙක් ද විය.
4. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක මහණහුගේ යහළු භික්‍ෂුහු ආයුෂ්මත් සෙය්‍යසකහට මෙය කීවාහුය: “ඇවැත් සෙය්‍යසකයෙනි, තෙපි පෙර කෘශ වූවහු රූක්‍ෂ වූවහු දුර්වර්‍ණ වූවහු ඉතා පඬුවන් වූවහු ඉල්පී ගිය නහරින් යුත් සිරුරු ඇත්තහු වූවහු ය. ඒ තෙපි දැන් වර්‍ණවත් ය. පිණා ගිය ඉඳුරන් ඇත්තහු ය. පහන් මුව පැහැය ඇත්තහු ය. වෙසෙසින් පහන් සිවි පැහැ ඇත්තහු ය, ඇවැත් සෙය්‍යසකයෙනි, කිම තෙපි බෙහෙතක් කරවුද”යි ඇසූහ. “ඇවැත්නි, මම බෙහෙතක් නො කෙරෙමි. එහෙත් මම කැමති තාක් වළඳමි, කැමැති තාක් සැතපෙමි, කැමැති තාක් නාමි, කැමැති තාක් වළඳා කැමති තාක් සැතපී කැමැති තාක් නහා යම් කලෙක මට අනභිරතියෙක් ඇති වේ නම්, රාගය සිත මැඩ ගණී නම්, එකල්හි අතින් ගටා සුකුරු මුදමි”යි සෙය්‍යසක මහණ කීය. “කිම? ඇවැත් සෙය්‍යසකයිනි, තෙපි යම් අතෙකින් ම සැදැහැයෙන් දෙන දෑ වළඳවු නම් ඒ අතින් ම ගටා සුකුරු මුදවු දැ,” යි ඒ භික්‍ෂුහු කීහ. “ඇවැත්නි, එසේ ය”යි සෙය්‍යසක මහණ කී ය. යම් ඒ භික්‍ෂූහු අල්පේච්ඡයෝ ද ඔහු “කෙසේ නම්, ආයුෂ්මත් සෙය්‍යසකයෝ අතින් ගටා සුකුරු මුදන්නෝ දැ”යි අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සෙය්‍යසකහට නන් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් සෙය්‍යසක මහණහු ගෙන් විචාළ සේක: “සැබෑ ද සෙය්‍යසකය, තෝ අතින් ගටා සුකුරු මුදයිදැ”යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑව”යි ඒ මහණ කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂය, නුසුදුසු වූ අනුලොම් නුවූ අප්‍රතිරූප වූ ශ්‍රමණසාරුප්‍ය නුවූ නොකැප වූ නොකටයුත්තෙක. හිස් පුරුෂය තෝ කවර කරුණකින් අතින් ගටා සුකුරු මුදනෙහි ද?” “හිස් පුරුෂය මා විසින් නන් අයුරෙන් සරාගය පිණිස නො ව විරාගය පිණිස ධර්‍මය දෙසන ලද්දේ නො වේ ද? සංයෝගය පිණිස නො ව විසංයෝගය පිණිස ධර්‍මය දෙසන ලද්දේ නො වේ ද? උපාදානය පිණිස නොව අනුපාදානය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? එහිලා හිස් පුරුෂය, තෝ මා විසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කළ කල්හි සරාගය පිණිස ප්‍රයෝග කෙළෙහි ය. විසංයෝගය පිණිස දහම් දෙසූ කල්හි සංයෝගය පිණිස ප්‍රයෝග කෙළෙහි ය. කෙලෙසුන් නොගැණීම පිණිස දහම් දෙසූ කල්හි කෙලෙසුන් ගැණීම පිණිස ප්‍රයෝග කෙළෙහි ය. “හිස් පුරුෂය මා විසින් නන් අයුරින් රාගවිරාගය පිණිස දහම් දෙසන ලද්දේ නොවේ ද? මදනිම්මදනය පිණිස පිපාසවිනය පිණිස ආලයසමුග්ඝාතය පිණිස වට්ටුපච්ඡේදය පිණිස තණ්හාක්ඛය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස නිබ්බාණය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය මා විසින් නන් අයුරින් කාමයන්ගේ ප්‍රහාණය කියන ලද්දේ නොවේ ද? කාමසංඥාවන්ගේ ත්‍රිවිධ පරිඥාවෝ කියන ලද්දාහු නො වෙද්ද? කාමපිපාසයන්ගේ ප්‍රතිවිනය කියන ලද්දේ නො වේ ද? කාමවිතර්‍කයන්ගේ නැසීම කියන ලද්දේ නො වේ ද? කාමගුණිකරාගපරිදාහයන්ගේ සංහිඳීම කියන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය මෙය වනාහි නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ පහන් වූවන්ගේ බොහෝබව පිණිස හෝ නො වෙයි. වැලිදු හිස් පුරුෂය මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස පහන් වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ම වෙයි.” යනුයි.