3. 8.
පඨමදුට්ඨදෝසශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වාසය කරණ සේක. එසමයෙහි උපතින් සත්වැසි වූ මල්ලරාජපුත්‍ර දබ්බ තෙරුන් විසින් අර්‍හත්‍වය පසක් කරණ ලද වෙයි. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු (ත්‍රිවිද්‍යාදී) යම්කිසි ගුණජාතයෙක් වේ ද ඒ සියල්ල ඔවුන් විසින් ලබන ලද වෙයි. ඔවුන් විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වටාලා වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. එකල්හි ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයන්ට රහසිගත ව විවෙක ව හුන්නවුන්ට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන. ‘උපතින් සත්හැවිරිදි වූ මා විසින් රහත් බව පසක් කරණ ලද. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු යම්කිසි ගුණජාතයෙක් වේ නම් ඒ සියල්ල මා විසින් ලබන ලද. මා විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. මම් සඟනට කිනම් වතාවතක් කෙරෙම් දෝ හෝ’යි. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයනට මේ සිත විය. ‘මම් සඟනට සෙනසුන් ද පනවම් නම් බත් ද උදෙසම් නම් මැනැවැ’යි.
2. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ සවස් වේලෙහි පිළිසලනින් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව හුන්නාහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “ස්වාමීනි, මෙහි රහෝගත ව විවේකී ව හුන් මට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන. උපතින් සත්හැවිරිදි වූ මා විසින් රහත් බව පසක් කරණ ලද. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු වූ සියලු ගුණජාතය මා විසින් ලබන ලද. මා විසින් මත්තෙහි කටයුතු කිසිවක් හෝ කරණ ලද්දහුගේ වටාලා වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. මම සඟනට කිනම් වතාවතක් කෙරෙම් දෝ හෝ”යි. ‘ස්වාමීනි, ඒ මට මේ සිත විය: මම් සඟනට සෙනසුන් ද පනවම් නම් බතුදු උදෙසම් නම් මනා මැ නු’යි. ස්වාමීනි, මම සඟනට සෙනසුනුදු පනවන්නට බතුදු උදෙසන්නට කැමැත්තෙමි”යි. “මැනැවැ, මැනැවැ, දබ්බයෙනි, එසේ වී නම් දබ්බයෙනි, තෙපි සඟනට සෙනසුනුදු පනවවු. බතුදු උදෙසවු ය”යි. ‘එසේ ය වහන්සැ’යි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “එසේ වී නම් මහණෙනි, සඞ්ඝ තෙමේ දබ්බමල්ලපුත්‍රයා සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කෙරේවා. තවද මහණෙනි, මෙසේත් සම්මත කළ යුත්තේ ය. පළමු කොට දබ්බමල්ලපුත්‍ර තෙමේ අයැදිය යුත්තේ ය. අයැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය”
4. “වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කරන්නේ ය. තෙල ඤත්ති යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කිරීම රුචි වේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හෙතෙම බණන්නේ ය.
සඞ්ඝයා විසින් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම්භාවය යි. මේ මෙසේ ධරමි”යි.
5. ඉක්බිති සම්මත වූ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ සභාග සභාග වූ භික්‍ෂූන්ට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් සෞත්‍රාන්තිකයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් සූත්‍රාන්තය සඞ්ගායනා කෙරෙති, ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විනයධරයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් විනය විනිශ්චය කෙරෙති’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධර්‍මකථිකයෝ වෙද්ද, ‘ඔහු ඔවුනොවුන් ධර්‍මය සාකච්ඡා කෙරෙතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධ්‍යායීහු වෙද් ද ‘ඔහු ඔවුනොවුන් නො වෙහෙසතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් තිරච්ඡානකථා ඇත්තාහු සිරුරු තර කිරීම බහුල ව වෙසෙත් නම් ‘මේ ආයුෂ්මත්හු මේ තිරිසන් කථා රතියෙන් වෙසෙති’. ඔවුනට ද එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විකාලයෙහි එත් නම් තේජෝධාතුවට සමවැද එම ආලෝකයෙන් ඔවුනට ද සෙනසුන් පනවත්. තවද භික්‍ෂූහු ‘ඇපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ ඍද්ධිප්‍රාතිහාර්‍ය බලම්හ’ යි දැන දැන නො කල්හි පැමිණෙති. ඔහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් කරා එළඹ ‘ඇවැත්නි, දබ්බයෙනි අපට සෙනසුන් පනවාලව’යි කියති. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඒ භික්‍ෂූන්ට මෙසේ කියති. ආයුෂ්මත්හු කොහි කැමැති වෙද්ද කොහි සෙනසුන් පනවම් දැ? යි. ඔහු දැන දැන දුරු තැන් දක්වති. ඇවැත් දබ්බයෙනි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපතනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපව්පාත්හි කළුසලහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වේභාරපව්පාත්හි සප්තපණ්ණිගුහායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ශීතවනයෙහි නාකෙමබෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම්කඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරිකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝදකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝදාරාමයෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹඋයන්හි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ඡි නම් මුවළැව්හි සෙනසුන් පනවාලව”යි කියන්නාහ. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ තේජෝධාතුවට සමවැද දිලියෙන ඇඟිලි ඇති ව ඔවුනට පෙරට ව පෙරට ව යෙති. උයිත් එම එළියෙන් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ පස්පස්හි යෙති. ඔවුනට ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ මෙසෙයින් සෙනසුන් පනවත්. මේ ඇඳ ය, මේ පුටු ය, මේ බිසි ය, මේ බිම්බොහන ය, මේ වැසිකිළි ය, මේ කෙසකිළි ය, මේ පැන් ය, මේ පරිභෝග උදක ය, මේ සැරයටි ය, මේ සඟුන්ගේ කතිකාවත ය, මෙකල පිවිසියයුතු ය, මෙකල නික්මියයුතු ය’යි. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඔවුනට සෙනසුන් පනවා නැවත වේළුවනයට පෙරළා එන්නාහ.