3. 5.
සඤ්චරිත්තශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙමේ සැවැත්නුවර කුලුපග වෙයි. බොහෝ කුලයන් කරා පැමිණෙයි. යම් තැනෙක බිරියක නැති කුමරකු හෝ සැමියකු නැති කුමරියක හෝ දකී ද, කුමරුගේ මව්පියන් සමීපයේ දී, “අසෝ කුලයේ කුමරිය අභිරූප ය, දැකුම් කලු ය, ප්‍රසාද එළවන්නී ය, පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තී ය, දක්‍ෂ ය, අනලස ය. මේ කුමරුහට ඒ කුමරිය සුදුසු ය” යි ඇය ගුණ කියයි. “වහන්ස, මොහු කවරහු ද? මොහු කා අයත් දැ? යි තුලුහු අප නො දනිත්. ඉදින් වහන්ස, ආර්‍ය්‍ය තෙමේ දෙවන්නේ නම් අපි ඒ කුමරිය මේ කුමරුට ගෙණ එන්නෙමු” යි ඔහු මෙසේ කියත්. “අසෝ කුලකුමාර තෙමේ අභිරූපය, දැකුම්කලු ය, ප්‍රසාද එළවන්නේ ය, පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය, දක්‍ෂය, අනලස ය. මේ කුමාරිකා තොමෝ ඒ කුමාරයාහට සුදුසු ය” යි කුමරියගේ මාපියන් සමීපයේ දී කුමරුගේ ගුණ කියයි. “වහන්ස, මොහු කවරහු ද? මොහු කා අයත් දැ?” යි තුලුහු අප නො දනිත්. වහන්ස, කුමරිය හේතුකොට කීම අපට ලජ්ජා එළවන්නාක් වැන්න. ඉදින් වහන්ස, ආර්‍ය්‍ය තෙමේ ඔවුන් ලවා යාචනා කරවා නම්, අපි මේ කුමරිය ඒ කුමරුට දෙන්නමු” යි ඔහු මෙසේ කියත්. ආයුෂ්මත් උදායී තෙමේ මේ උපායෙන් ම ආවාහයන් ද කරවයි. විවාහයන් ද කරවයි. දින නකත් ආදිය ද ගිවිස්වා තබයි.
2. එසමයෙහි එක්තරා හිමි නැති ගණකියකගේ දුවක් අභිරූප ය. දැකුම්කලු ය. ප්‍රසාද එළවන්නී ය. අන් ගමෙක වසන ආජීවකසව්වෝ පැමිණ ඒ ගණක බිරියට “ආර්‍ය්‍යාවෙනි, මේ කුමරිය අපගේ කුමරුට දෙව” යි මෙබස් කීහ. “ආර්‍ය්‍යයෙනි, මොහු කවුරු ද? කා අයත් දැ?” යි මම් තොප නො හඳුනමි. මෝ ද මාගේ එක ම දුව ය. බැහැරගම් ද යායුතු ය. මම නො දෙන්නෙමි” යි ඕ මෙසේ කිවු ය. මිනිස්සු ආජීවක ශ්‍රාවකයන්ට “ආර්‍ය්‍යයෙනි, තෙපි කුමක් හෙයින් ආවහු දැ?” යි මෙය කීහ. “ආර්‍ය්‍යයෙනි, මෙහි අපි අසෝ ගණකියගෙන් අපගේ කුමරුට ඇය දුව යැදීමු. ඕ ද “ආර්‍ය්‍යයෙනි, මම් මොහු කවුරු දැ යි කියා හෝ මොහු කාගේ දැ?” යි කියා හෝ නො දනිමි. මෝ ද මගේ එක ම දුව ය. බැහැරගම් ද යායුතු ය. මම් ඇය නො දෙමි” යි කීවා ය යි ඔහු කීහ. “ආර්‍ය්‍යයෙනි, තෙපි කුමක් හෙයින් ඒ ගණකියගෙන් ඇය යැදූහු ද? ආර්‍ය්‍ය උදායී තෙමේ කිය යුතු නො වේ ද? ආර්‍ය්‍ය වූ උදායී තෙමේ දෙවන්නේ ය” යි ඔහු කීහ. ඉක්බිති ආජීවක ශ්‍රාවකයෝ ආයුෂ්මත් උදායී තෙර කරා එළඹියාහු ය. එළඹ, ආයුෂ්මත් උදායීහට, “වහන්ස, මෙහි අපි අසෝ ගණකියගෙන් අපගේ කුමාරයාහට දුව යැදුමු. ඕ ‘ආර්‍ය්‍යයෙනි මොහු කාගේ කවුරු දැ? යි මම තොප නො හඳුනමි. මෝ ද මගේ එක ම දුව ය. බැහැරගම් ද යා යුතුය. මම් ඇය නො දෙමි’ යි කීවා ය. වහන්ස, ආර්‍ය්‍ය තෙමේ ඒ ගණකියගේ දුව අපගේ කුමරුට දෙවන්නේ නම් මැනවැ” යි කීහ.
3. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ගණකිය වෙත පැමිණ ඒ ගණකියට “කුමක් හෙයින් මොවුන්ට දුව නො දෙයි දැ?” යි කී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, මොහු කාගේ කවුරු දැ” යි මොවුන් නො හඳුනමි. මෝ ද මාගේ එක ම දුව ය. මම ඇය නො දෙන්නෙමි බැහැරගම් ද යායුතු ය යි ඕ කිවු ය. “මොවුන්ට දෙව, මම මොවුන් හඳුනමි” යි ආයුෂ්මත් උදායීතෙර කී ය. “ඉදින් වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේ හඳුනත් නම් දෙන්නෙමි” යි ඕ කිවු ය. ඉක්බිති ඒ ගණකී ඒ ආජීවක සව්වන්ට සිය දුව දුන්නී ය. ඉක්බිති ඒ ආජීවක සව්වෝ ඒ කුමරිය කැඳවා ගෙණ ගොස් මසක් ම ලෙහෙළියකු කොට පරිභෝග කළාහු ය. ඉන්පසු දාසියක කොට පරිහරණය කෙරෙති. ඉක්බිති ඒ කුමාරිකා තොමෝ, “මම දැන් දුගී වෙමි. දුප්පත්මි. සැපයක් නො ලබමි. මසක් ම මා ලෙහෙළියක කොට පරිභෝග කළහ. ඉන්පසු දාසියක මෙන් පරිහරණය කෙරෙති. මගේ මව් තොමෝ මෙහි ඒවා. මා ගෙණ යේවා” යි මවු වෙතට දූතයකු යැවුවා ය.
4. ඉක්බිති ඒ ගණකී තොමෝ ඒ ආජීවක සව්වන් කරා එළඹියා ය. එළඹ ඔවුන්ට “ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නො කරව. ලෙහෙලියක කොට මේ කුමරිය පරිහරණය කරව” යි කිවුය. ඔහු “තී හා අපගේ ගණුදෙනුවෙක් නැත. අපගේ ගණු දෙනුව මහණහු සමග ය. තෝ යව. අපි තී නො දනිමු”යි කීහ. ඉක්බිති ඒ ගණකී තොමෝ ආජීවක සව්වන් විසින් ගරහන ලද්දී නැවත සැවැතට පෙරළා පැමිණියා ය. දෙවෙනි වර ද ඒ කුමරි “මම දුගීයෙමි. දුප්පත්මි. සැපයක් නො ලබමි. මසක් පමණ මා ලෙහෙළියක කොට පරිහරණය කළහ. එතැන් පටන් දාසියක්කොට පරිහරණය කරත්. මගේ මව් තොමෝ මෙහි ඒවා. මා කැඳවා ගෙණ යේවා” යි මවගේ සමීපයට දූතයකු යැවූ ය.
5. ඉක්බිති ඒ ගණකී තොමෝ ආයුෂ්මත් උදායීතෙර කරා පැමිණියා ය. පැමිණ, ආයුෂ්මත් උදායීහට “වහන්ස, ඒ කුමරිය දුගී ල? දුප්පත් ල, සුවයක් නො ලබා ල. මසක් ම ලෙහෙළියක කොට පරිහරණය කළාහු ල. එතැන් පටන් දාසියක කොට පරිහරණය කරත්ල. වහන්ස, ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නොකරවු ලෙහෙළියක කොට පරිහරණය කරවු’යි කියනු මැනවැයි කී ය. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ආජීවක සව්වන් කරා ගියේ ය. ගොස්, ඒ ආජීවක ශ්‍රාවකයන්ට “ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නො කරවු. ලෙහෙළියක කොට මැය පරිහරණය කරවු” යි කී ය. “මුඹ හා අපගේ ගණුදෙනුවෙක් නැත. අපගේ ගණුදෙනුව ගණකිය හා ය. ශ්‍රමණයා ව්‍යාපාර නැත්තකු විය යුතු යි. ශ්‍රමණයෙක් නම් මනා ශ්‍රමණයෙක් වන්නේය. මුඹ යන්න. අපි මුඹ නො දනිමු” යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ආජීවක ශ්‍රාවකයන් විසින් ගරහන ලද්දේ සැවතට ම පෙරළා ආයේ ය. තුන්වන වර ද ඒ කුමරි මවු සමීපයට “මම දුගීයෙමි. දුප්පත් වෙමි. සුවයක් නො ලබමි. මසක් ම මා ලෙහෙළියක කොට පරිහරණය කළහ. එතැන් පටන් දාසියක කොට පරිහරණය කරත්. මගේ මව මෙහි ඒවා. මා කැඳවා ගෙණ යේවා”යි දූතයකු යැවූ ය.
6. දෙවෙනි වර ද ඒ ගණකී ආයුෂ්මත් උදායීතෙර කරා ගියා ය. ගොස් ආයුෂ්මත් උදායීහට වහන්ස, ඒ කුමරී දුගී ල. දුප්පත් ය. සුවයක් නො ලබා ල. මසක් ම ඇය ලෙහෙළියක කොට පරිහරණය කළාහු ල. එ තැන් පටන් දාසියක මෙන් පරිහරණය කරත් ල. වහන්ස, “ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නො කර මු. ලෙහෙළියක කොට පරිහරණය කරවු” යි කියන්නැ යි සැළ කළා ය. “පළමු වර මම ඒ ආජීවක ශ්‍රාවකයන් විසින් ගරහන ලද්දෙම් වෙමි. තෝ යව මම් නො යන්නෙමි” යි ආයුෂ්මත් උදායී කී ය.