විනිශ්චිතවස්තු
උද්දානගාථා:
කථංවඤ්ඣාවත්ථු, පුත්තවත්ථු, පියාවත්ථු, සුභගාවත්ථු, කිංදජ්ජාවත්ථු, කෙනුපට්ඨෙය්යවත්ථු, සුගතිං කථං ගච්ඡෙය්ය වත්ථු යි වස්තු සතෙකි:
1. එසමයෙහි එක්තරා වඳ ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කෙසේ නම් වදන්නෙම් ද?”යි මෙය කිවුය. “නඟ, එසේ නම් අග්රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (1)
2. එසමයෙහි එක්තරා වදන ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් පුතකු ලබන්නෙම් දැ?”යි කිවුය. “නඟ, එසේ නම් අග්රදානය දෙව”යි කී ය. “වහන්ස, අග්රදාන නම් යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (2)
3. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් මම් හිමියාට ප්රිය වන්නෙම් දැ?” විචාළාය. “එසේ නම් අග්රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්රදාන නම් කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (3)
4. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කෙසේ නම් ඉසුරුමතියක් වන්නෙම් දැ?” පුළුවුත. “එසේ නම් අග්රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්රදානය නම් කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දම ය”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (4)
5. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් ආර්ය්යයන් වහන්සේට කුමක් දෙන්නෙම් දැ?” විචාළාය. “නඟ, අග්ර දානය”යි හේ කී ය. “වහන්ස, අග්රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (5)
6. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කිමෙකින් ආර්ය්යයන් වහන්සේට උපස්ථාන කෙරෙම් දැ?” යි විචාළාය. “නඟ, අග්රදානයෙනි”යි හේ කී ය. “වහන්ස, අග්රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (6)
7. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් සුගතියට යන්නෙම් දැ?” යි කිවු ය. “නඟ, එසේ නම් අග්රදානය දෙව”යි කී ය. “වහන්ස, අග්රදාන යනු කිමැ?”යි ඕ විචාළාය. “මෙවුන්දමැ”යි කී ය. ... ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය” යි වදාළ සේක. (7)
අත්තකාමපාරිචරියශික්ෂාපදය නිමි.
3. 5.
සඤ්චරිත්තශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙමේ සැවැත්නුවර කුලුපග වෙයි. බොහෝ කුලයන් කරා පැමිණෙයි. යම් තැනෙක බිරියක නැති කුමරකු හෝ සැමියකු නැති කුමරියක හෝ දකී ද, කුමරුගේ මව්පියන් සමීපයේ දී, “අසෝ කුලයේ කුමරිය අභිරූප ය, දැකුම් කලු ය, ප්රසාද එළවන්නී ය, පණ්ඩිත ය, ව්යක්ත ය, නුවණැත්තී ය, දක්ෂ ය, අනලස ය. මේ කුමරුහට ඒ කුමරිය සුදුසු ය” යි ඇය ගුණ කියයි. “වහන්ස, මොහු කවරහු ද? මොහු කා අයත් දැ? යි තුලුහු අප නො දනිත්. ඉදින් වහන්ස, ආර්ය්ය තෙමේ දෙවන්නේ නම් අපි ඒ කුමරිය මේ කුමරුට ගෙණ එන්නෙමු” යි ඔහු මෙසේ කියත්. “අසෝ කුලකුමාර තෙමේ අභිරූපය, දැකුම්කලු ය, ප්රසාද එළවන්නේ ය, පණ්ඩිත ය, ව්යක්ත ය, නුවණැත්තේ ය, දක්ෂය, අනලස ය. මේ කුමාරිකා තොමෝ ඒ කුමාරයාහට සුදුසු ය” යි කුමරියගේ මාපියන් සමීපයේ දී කුමරුගේ ගුණ කියයි. “වහන්ස, මොහු කවරහු ද? මොහු කා අයත් දැ?” යි තුලුහු අප නො දනිත්. වහන්ස, කුමරිය හේතුකොට කීම අපට ලජ්ජා එළවන්නාක් වැන්න. ඉදින් වහන්ස, ආර්ය්ය තෙමේ ඔවුන් ලවා යාචනා කරවා නම්, අපි මේ කුමරිය ඒ කුමරුට දෙන්නමු” යි ඔහු මෙසේ කියත්. ආයුෂ්මත් උදායී තෙමේ මේ උපායෙන් ම ආවාහයන් ද කරවයි. විවාහයන් ද කරවයි. දින නකත් ආදිය ද ගිවිස්වා තබයි.
2. එසමයෙහි එක්තරා හිමි නැති ගණකියකගේ දුවක් අභිරූප ය. දැකුම්කලු ය. ප්රසාද එළවන්නී ය. අන් ගමෙක වසන ආජීවකසව්වෝ පැමිණ ඒ ගණක බිරියට “ආර්ය්යාවෙනි, මේ කුමරිය අපගේ කුමරුට දෙව” යි මෙබස් කීහ. “ආර්ය්යයෙනි, මොහු කවුරු ද? කා අයත් දැ?” යි මම් තොප නො හඳුනමි. මෝ ද මාගේ එක ම දුව ය. බැහැරගම් ද යායුතු ය. මම නො දෙන්නෙමි” යි ඕ මෙසේ කිවු ය. මිනිස්සු ආජීවක ශ්රාවකයන්ට “ආර්ය්යයෙනි, තෙපි කුමක් හෙයින් ආවහු දැ?” යි මෙය කීහ. “ආර්ය්යයෙනි, මෙහි අපි අසෝ ගණකියගෙන් අපගේ කුමරුට ඇය දුව යැදීමු. ඕ ද “ආර්ය්යයෙනි, මම් මොහු කවුරු දැ යි කියා හෝ මොහු කාගේ දැ?” යි කියා හෝ නො දනිමි. මෝ ද මගේ එක ම දුව ය. බැහැරගම් ද යායුතු ය. මම් ඇය නො දෙමි” යි කීවා ය යි ඔහු කීහ. “ආර්ය්යයෙනි, තෙපි කුමක් හෙයින් ඒ ගණකියගෙන් ඇය යැදූහු ද? ආර්ය්ය උදායී තෙමේ කිය යුතු නො වේ ද? ආර්ය්ය වූ උදායී තෙමේ දෙවන්නේ ය” යි ඔහු කීහ. ඉක්බිති ආජීවක ශ්රාවකයෝ ආයුෂ්මත් උදායී තෙර කරා එළඹියාහු ය. එළඹ, ආයුෂ්මත් උදායීහට, “වහන්ස, මෙහි අපි අසෝ ගණකියගෙන් අපගේ කුමාරයාහට දුව යැදුමු. ඕ ‘ආර්ය්යයෙනි මොහු කාගේ කවුරු දැ? යි මම තොප නො හඳුනමි. මෝ ද මගේ එක ම දුව ය. බැහැරගම් ද යා යුතුය. මම් ඇය නො දෙමි’ යි කීවා ය. වහන්ස, ආර්ය්ය තෙමේ ඒ ගණකියගේ දුව අපගේ කුමරුට දෙවන්නේ නම් මැනවැ” යි කීහ.