3. 4.
අත්තකාමපාරිචරියශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙමේ සැවැත්නුවර බොහෝ කුලයන් කරා එළඹෙයි. එසමයෙහි සැමියා මළ මනා රූ ඇති දැකුම්කලු වූ ප්රසාද එළවන්නාවූ එක්තරා ස්ත්රියක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ ඒ ස්ත්රියගේ නිවසට එළඹ පැණවූ අස්නෙහි හිඳගත්තේ ය.
2. ඉක්බිති ඒ ස්ත්රී තොමෝ ආයුෂ්මත් උදායී වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ ගත්තී ය. එකත්පසෙක හුන් ඒ ස්ත්රියට ආයුෂ්මත් උදායි තෙමේ දැහැමි කථාවෙන් දෙලෝවැඩ මනාකොට දැන්වීය. කුශලධර්මයන්හි සමාදන් කරවී ය. මැනවින් පැහැද වීය.
3. ඉක්බිති ආයුෂ්මත් උදායි විසින් දෙලෝවැඩ දක්වන ලද්දාවූ කුශල ධර්මයන්හි සමාදන් කරවන ලද්දාවූ උත්සාහවත් කරණ ලද්දාවූ මනා කොට පහදවන ලද්දාවූ ඒ ස්ත්රී ආයුෂ්මත් උදායීහට “වහන්ස, යමකින් ප්රයෝජන නම් එය මට කියනු මැනව. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙය ආර්ය්යයන් වහන්සේට දීමට සමත් වෙමි”යි කිවු ය. “නඟ, මේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන යමෙක් වේ ද, ඒ අපට දුලබ නො වෙයි. වැලි දු අපට යමක් දුලබ නම් එය දෙව”යි හේ කී ය. “වහන්ස, කිමැ”යි ඕ ඇසූ ය. “මෙවුන්දම”යි හේ කී ය. “වහන්ස, එයට කැමති දැ?”යි ඕ ඇසූ ය. “නඟ, කැමැත්තෙමි”යි හේ කී ය. “වහන්ස, එනු මැනවැ”යි ලගිනාගෙට පිවිස සළුව මුදා ඇඳෙහි උඩුකුරු ව හොත්තී ය. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ ඇය වෙත පැමිණ “කවරෙක් නම් මල වැහෙන දුගඳ මැය ආමර්ශනය කරන්නේ දැ?”යි කෙළ ගසා ඉවත් ව ගියේ ය.
4. ඉක්බිති ඒ ස්ත්රිය අවමන් කරයි. අයුණු කියයි. දොස් පතුරුවයි. මේ ශ්රමණ ශාක්යපුත්රීයයෝ අලජ්ජීහු ය. දුශ්ශීලයෝ ය. මුසාවාදිහු ය. මොහු “තුමූ ධර්මචාරීහු ය යි සමාචාරීහු ය යි බ්රහ්මචාරීහුය යි සත්යවාදීහු ය යි සිල්වත්හු ය යි කලණ දහම් ඇත්තෝ ය යි පිළිණ කෙරෙත්. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද? මොවුන්ට බමුණුකමෙක් කොයින් ද? මොහු මහණකමින් පහ වූවෝ ය. මොවුහු බමුණු කමින් පහ වූවෝ ය. කවර කරුණකින් උදායී මහණ තෙමේ ම මා මෙවුන්දමින් යැද “කවරෙක් මළ වැහෙන දුගඳ වූ මැය ආමර්ශනය කරන්නේ දැ?”යි “කෙළ ගසා යන්නේ ද?” “මගේ කුමක් ලාමක ද? මගේ කුමක් දුගඳ ද? මම කිනම් ස්ත්රියකට කෙබඳු අලඞ්කාරයකින් පිරිහෙම් ද?”යි කිවු ය.
5. අනෙක් ස්ත්රීහු ද “මේ ශ්රමණ ශාක්යපුත්රීයයෝ අලජ්ජීහුය ... අයුණු කියත්. නුගුණ පතුරුවත්. කවර හෙයකින් උදායි මහණ තෙමේ මැයගෙන් තෙමේ ම මෙවුන්දම් යැද කවරෙක් මළ වගුරණ දුගඳ වූ මැය ආමර්ශනය කරන්නේ දැ?යි කෙළ ගසා යන්නේ ද? මැගේ කුමක් ලාමක ද? මැගේ කුමක් දුගඳ ද? මෝ තොමෝ කිනම් ස්ත්රියකට කිනම් අලංකාරයකින් පිරිහේ ද?” යනුයි.
6. භික්ෂූහු අවමන් කරන්නාවූ අයුණු කියන්නා වූ නුගුණ පතුරුවන්නාවූ ඒ ස්ත්රීන්ගේ කථාව ඇසූහ. යම් අල්පේච්ඡ භික්ෂූහු වූවාහු ද ඔහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්. “කවර කරුණකින් ආයුෂ්මත් උදායි තෙමේ ස්ත්රියක ලඟ තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියන්නේ ද?”
7. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්ෂුසඞ්ඝයා රැස්කරවා. “උදායි, තෝ ස්ත්රියක ලඟ තමහට මෙවුන්දම් සෙවුමෙහි අනුසස් කීයෙහි යනු සැබෑ දැ?”යි ආයුෂ්මත් උදායින් විචාළසේක. “සැබව, භාග්යවතුන් වහන්ස”යි හේ කී ය. භාග්යවත් බුදුරජානන් වහන්සේ, “හිස්පුරුෂය, නුසුදුස්සෙකි. අනුලොම් නොවූවකි. මහණකමට නොසුදුස්සෙකි. නොකැපයෙකි. නොකටයුත්තකි. හිස් පුරුෂය, තෝ කෙසේ නම් මාගම ලඟ තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කිවුයෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් අයුරින් සරාගය පිණිස නොව විරාගය පිණිස දහම් දෙසන ලද්දේ නොවේ ද? ... කාමදාහයන් සංසිඳුවීම දෙසන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අත්තකාමපාරිචරියා රාගයට බටුයේ පෙරළී ගිය සිතින් මිනිස් මාගමක සමීපයෙහි යම් ස්ත්රියක් සිල්වත් වූ කලණ දහම් ඇති බඹසර ඇති මා වැන්නක්හු මේ මෙවුන්දමින් අභිරමණය කරවා නම් මෙය පාරිචරියාවන් අතුරෙන් අග්රයයි මෛථුනෝපනිඃශ්රිත වචනයෙන් තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියා ද, ඒ මහණහට සඟවෙසෙස්ඇවැත් වේ.”
8. යෝපන යනු යමෙක් යම්බඳුවෙක් ...
භික්ඛු යනු ... මේ අර්ත්ථයෙහි මෙ තෙමේ භික්ෂු ය යි අභිමත යි.
ඔතිණ්ණ නම්: මොනවට ඇලුනේ බලාපොරොත්තු සහිත වූයේ පිළිබඳ සිත් ඇත්තේ යි.
විපරිණත නම්: රාගයෙන් රත් වූ සිත ද විපරිණත ය, ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය, මෝහයෙන් මුළා සිත ද විපරිණත ය. වැලිත් මේ අර්ත්ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණතය යි අභිමත යි.
මාතුගාම නම්: මිනිස් මාගමකි. යකින්නක් නො වෙයි. ප්රේතියක් නො වෙයි. තිරිසන් ගත මාගමක් ද නො වෙයි. සුබැසි දුබැසි තුළුල් නොතුළුල් තෙපුල් දැන ගන්නට සමත් නුවණැත්තියකි.
මාතුගාමස්ස සන්තිකේ යනු මාගම් වෙත, මාගම්හට නුදුරු තැන ය.
අත්තකාමං යනු තමාගේ කැමැත්ත, තමාගේ හේතුව, තමාගේ අදහස, තමා පිළිබඳ පාරිචර්ය්යා ය.
ඒතදග්ගං යනු මෙය අග්රය, මෙය ශ්රේෂ්ඨ ය, මෙය ප්රමුඛ ය, මෙය උත්තම ය, මෙය ප්රවර ය යන අර්ත්ථ යි.
යා යනු ක්ෂත්රිය හෝ බ්රාහ්මණ හෝ වෛශ්ය හෝ ශුද්ර හෝ ස්ත්රීයි.
මාදිසං යනු කැතකු හෝ බමුණකු හෝ වෙළෙඳෙකු හෝ සුදුරකු හෝ.