4. 5. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කෙරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේනම් මෙහෙණෝ ගිහීකාමභෝගිනියන් මෙන් තිරශ්චීනවිද්‍යා පුහුණු කළාහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේනම් සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කළාහු දැ” යි. … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කෙරෙත් දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කළාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තිරශ්චීනවිද්‍යා පුහුණු කෙරේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
තිරච්ඡානවිජ්ජා නම්: අවැඩින් යුත් බැහැරි යම් කිසිවකි.
පරියාපුණෙය්‍ය: පෙදෙන් පුහුණු කෙරේ නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අකුරින් පුහුණු කෙරේ නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
ලිවීම පුහුණු කෙරේ නම්, දැරීම පුහුණු කෙරේ නම්, ආරක්‍ෂාව පිණිස මන්ත්‍ර පුහුණු කෙරේ නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 5. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හදාරවත්. මිනිස්සු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේනම් මෙහෙණෝ ගිහීකාමභෝගිනියන් මෙන් තිරශ්චීනවිද්‍යා හැදෑරැවූහු දැ යි.