5. චිත්තාගාරවර්ගය
4. 5. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි ප්රසේනජිත් කෝශල රාජයාගේ උයනෙහි වූ චිත්රාගාරයෙහි ප්රතිභාන චිත්රයෙක් කරන ලද්දේ වෙයි. බොහෝ මිනිස්සු චිත්රාගාරය දැකීම පිණිස යෙති. සවග මෙහෙණෝ ද චිත්රාගාරය දැකීම පිණිස ගියාහු ය. … මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් චිත්රාගාරය දැකීම පිණිස ගියාහු දැ” යි.
2. භික්ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ චිත්රාගාරය දැකීම පිණිස ගියාහු දැ” යි. … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ චිත්රාගාරය දැකීම පිණිස යෙත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ චිත්රාගාරය දැකීම පිණිස ගියාහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් රාජාගාරයක් හෝ චිත්රාගාරයක් හෝ ආරාමයක් හෝ උයනක් හෝ පොකුණක් හෝ දැකීම පිණිස යේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
රාජාගාර නම්: යම්කිසි තැනෙකැ රජුට කෙළනට ඇලෙන්නට කරන ලද්දේ වෙයි.
චිත්තාගාර නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.
ආරාම නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.
උය්යාන නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළිනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.
පොක්ඛරණී නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරනලද්දී වේ.
දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුනපුනා දකී නම් පචිති ඇවැත් වෙයි. එකක් එකක් දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුනපුනා දකී නම් පචිති ඇවැත් වේ.
අරමෙහි සිටියා දකී නම්, යන්නී හෝ එන්නී හෝ දකී නම්, කරණී ඇති කල්හි ගොස් දකී නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
4. 5. 2.
දෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරති. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි.
2. භික්ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි … සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ. … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පිරිබෝ කළාහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දික්හඟළා පුටු හෝ පලඟ හෝ පරිබෝ කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
ආසන්දි නම්: ඉක්ම වූ පමණ ඇතියා කියනු ලැබේ.
පල්ලඞ්ක නම්: ඇරැහිඳුවා කළ වග රුවින් කරන ලද්දේ වෙයි.
පරිභුඤ්ජෙය්ය: එහි වැදහිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.