භික්ෂුණීවිභඞ්ගය
1. පාරාජිකකාණ්ඩය
ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා
1. 1.
පළමුවන පරිජිය
1. එසමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩැවසන සේකැ. එසමයෙහි සාළ්හ මිගාරනප්තෘ තෙමේ භික්ෂුණීසඞ්ඝයාහට වෙහෙරක් කරනු කැමැත්තේ වෙයි. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ මෙහෙණන් වෙත එළැඹැ තෙල කී යැ. “ආර්ය්යාවෙනි, මම භික්ෂුණී සඞ්ඝයාහට වෙහෙරක් කරනු කැමැත්තෙමි, මාහට නවකම් විදහන මෙහෙණක දෙනුමැනැව’ යි. එසමයෙහි වනාහි නන්දා යැ නන්දවතී යැ සුන්දරීනන්දා යැ ථුල්ලනන්දා යැ යි සතර බුහුන කෙනෙක් මෙහෙණන් කෙරෙහි පැවිදි වූවාහු වෙති. ඔවුනතුරෙන් සුන්දරීනන්දා භික්ෂුණී තොමෝ තුරුණුවියෙහි පැවිදිවූවා වෙයි. විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් එළවන්නී පණ්ඩිත වූවා ව්යක්ත වූවා නුවණැති වූවා දක්ෂ වූවා අනලස් වූවා වෙයි. ඒ ඒ කර්මවිෂයෙහි උපාය වූ කළයුතු කම්හි විමසුම් නුවණින් යුතු වූවා ඒ ඒ කර්ම කරන්නට ද සංවිධාන කරන්නට ද සමර්ත්ථ වූවා වෙයි. ඉක්බිති භික්ෂුණීසඞ්ඝ තෙමේ සුන්දරීනන්දා භික්ෂුණිය සම්මත කොට සාළ්හ මිගාරනප්තෘ හට නවකැමියක කොට දුන්නේ යැ. එසමයෙහි වනාහි සුන්දරීනන්දා භික්ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහුගේ නිවෙසට නිතර නිතර යයි. ‘වෑයක් දෙව, පොරොවක් දෙව, කෙටේරියක් දෙව, උදැල්ලක් දෙව, නියනක් දෙව’ යි, සාළ්හ මිගාරනප්තෘ තෙමේත් කළදැය නො කළ දැය දැනගන්නට මෙහෙණවරට නිතර නිතර යයි. ඔහු දෙදෙන නිතර නිතර දැක්මෙන් පිළිබඳ සිත් ඇතියෝ වූහු. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ සුන්දරීනන්දා භික්ෂුණිය දූෂණය කරන්නට අවසරයක් නො ලබන්නේ තෙල කරුණ මැ සඳහා භික්ෂුණීසඞ්ඝයාට බතක් (පිළියෙළ) කෙළේ යැ. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ භක්තාග්රයෙහි අසුන් පනවන්නේ මෙතෙක් භික්ෂුණීහු ආර්ය්යා සුන්දරීනන්දාවට වැඩිමහලු හයි එකත්පසෙකැ අසුන් පැනැවීයැ. මෙතෙක් දෙනා නවක තරහයි එකත්පසෙකැ අසුන් පැනැවී යැ. ස්ථවිර භික්ෂුණීහු (ඕතොමෝ) නවක භික්ෂුණීන්ගේ සමීපයෙහි හිනැයි යම්සේ දන්නාහු නම් නවක භික්ෂුණී හුදු (ඕතොමෝ) ස්ථවිර භික්ෂුණීන්ගේ සමීපයෙහි හිනැයි යම්සේ දන්නාහු නම් එසේ සුන්දරීනන්දා මෙහෙණහට පිළිසන් අගුකොන් පෙදෙසෙකැ අසුනක් පැනවී යැ.
2. ඉක්බිති සාළ්හ මිගාරනප්තෘ තෙමේ “ආර්ය්යාවෙනි, බත (පිළියෙළ කොට) නිමවන ලදී, (එයට) සුදුසු කලැ’යි භික්ෂුණී සඞ්ඝයාහ කල් දැන්වීයැ. සුන්දරීනන්දා භික්ෂුණි තොමෝ (නුවණින්) සලකා “සාළ්හ මිගාරනප්තෘ තෙමේ කළ බුහුමන් ඇතියේ භික්ෂුණී සඞ්ඝයාහට බත පිළියෙළ නො කෙළේ යැ. හේ මා දූෂණය කරනු කැමැත්තේ වෙයි. ඉදින් මම යන්නෙම් නම් මාගේ විප්රකාර ශබ්දය වන්නේ” යි අතැවැසි මෙහෙණකට ඇණවූයැ: යා, මා හට පිණ්ඩපාතය ගෙනැ එව, යමෙකුත් මා ගැන පිළිවිසී නම් ගිලනැයි (ඔහුට) දන්වාලව යි. එසේ යැ ආර්ය්යාවෙනි යි ඒ මෙහෙණ සුන්දරීනන්දා මෙහෙණට පිළිවදන් දුන්නා යැ.
3. එසමයෙහි සාළ්හ මිගාරනප්තෘ තෙමේ බිහිදොර කොටුයෙහි සුන්දරීනන්දා මෙහෙණ පිළිවිසිමින් සිටියේ වෙයි: “ආර්ය්යාවෙනි, ආර්ය්යා සුන්දරීනන්දා කොහි ද? ආර්ය්යාවෙනි, ආර්ය්යා සුන්දරීනන්දා කොහි” දැයි. මෙසේ කී කල්හි සුන්දරීනන්දා මෙහෙණගේ අතැවැසි මෙහෙණ තොමෝ සාළ්හ මිගාරනප්තෘහට තෙල කිවු යැ: “ඇවැත, ගිලන් යැ පිණ්ඩපාතය ගෙන යන්නෙමි’ යි. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ යමක සඳහා මම මෙහෙණසඟනට බත (පිළියෙළ) කෙළෙම් ද (ඒ) සුන්දරීනන්දා ආර්ය්යාව සඳහා යී මිනිසුන් අණවා බතින් මෙහෙණසඟන වළඳවවු’ යි කියා මෙහෙණවර වෙතැ එළැඹියේ යැ.
4. එසමයෙහි සුන්දරීනන්දා භික්ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු බලාපොරොත්තු වන්නී අරමැ පවුරෙන් පිටතැ සිටියා වෙයි. සුන්දරීනන්දා භික්ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු එන්නහු දුර දී මැ දැකැ මෙහෙණවරට පිවිස හිස සහිත වැ පෙරෙවැ ඇඳෙහි හොත්තා යැ. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ සුන්දරීනන්දා මෙහෙණ වෙතැ එළඹියේ යැ. එළැඹ සුන්දරීනන්දා මෙහෙණට තෙල කී යැ: “ආර්ය්යාවෙනි, ඔබට අපහසු කිමැ, කුමට හෝ වී” දැයි. ඇවැත්නි, තෙල නො රිසියකු කැමැති වන්නකුට සේ යැයි, ආර්ය්යාවෙනි, කිම මම තොප නො කැමැතියෙම් ද? වැළිදු මම දූෂණයට අවකාශ නො ලබමි යි කා සසඟරායෙන් තෙත් වූයේ කා සසඟරායෙන් තෙත්වූ සුන්දරීනන්දා මෙහෙණ හා කායසංසර්ගයට පැමිණියේ යි.
5. එසමයෙහි එක්තරා මෙහෙණක් ජරායෙන් දුබලවූවා ගිලන්පා ඇතියා සුන්දරීනන්දා මෙහෙණට නුදුරුතන්හි උන්නා වෙයි. ඒ මෙහෙණ රාගයෙන් තෙත් වූ සාළ්හ මිගාරනප්තෘහු රාගයෙන් තෙත් වූ සුන්දරීනන්දා මෙහෙණ හා කායසංසර්ගයට සමවදනහු දුටුවා යැ. දැකැ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි “කෙසේ නම් රාගයෙන් තෙත්වූ සුන්දරීනන්දා ආර්ය්යා තොමෝ රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්ගය ඉවසූ” දැයි.