4. 5. 8.
අටවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ආවාසය නොනිසැජැ චාරිකාවට ගියා යැ. එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණියගේ ආවාසය දැවේ. භික්ෂුණීහු මෙසේ කීහු: “ආර්ය්යාවෙනි එසේ නම් බඩු බැහැර කරම්හ” යි. ඇතැම් මෙහෙණ කෙනෙක් “ආර්ය්යාවෙනි, අපි බැහැර නො කරම්හ. යමක් නැසුණේ නම් (ඒ) සියල්ල අපගෙන් විචාරා” යැ යි මෙසේ කීහු. ථුල්ලනන්දා භික්ෂුණී නැවත ඒ ආවාසයට පෙරළා අවුත් මෙහෙණන් පිළිවිසූ ය. ආර්ය්යාවෙනි, බඩු බැහැර කළහු දැ යි. ආර්ය්යාවෙනි, අපි නො බැහැර කළම්හ. ථුල්ලනන්දා භික්ෂුණී ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ ආවාසය දැවෙන කල්හි බඩු බැහැර නො කළාහු දැ” යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ යි. සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් ආවාසය නො නිසැජැ චාරිකාවට යේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
ආවසථ නම්: කවුළු බැඳියේ කියනු ලැබේ.
අනිස්සජ්ජිත්වා චාරිකං පක්කමෙය්ය: මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරැණියකට හෝ නොනිසැජැ පිරිකෙව් කළ ආවාසයෙහි පරික්ෂේපය ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. නො පිරිකෙව් කළ ආවාසයෙහි උවසර ඉක්මවන්නියට පචිති ඇවැත් වේ.
නොනිසැජියෙහි නොනිසැජූ සන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජියෙහි විමති ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො නිසැජියෙහි නිසැජූසන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වේ.
කවුළු නො බැඳියක් නොනිසැජැ බැහැරැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජියෙහි නොනිසැජූසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. නිසැජියෙහි නිසැජු සන් ඇතියා නම් ඇවැත් නැති.
නිසැජැ බැහැරැ යේ නම්, අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නො වේ. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. 5. 9.
නවවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තිරශ්චීනවිද්යා පුහුණු කෙරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේනම් මෙහෙණෝ ගිහීකාමභෝගිනියන් මෙන් තිරශ්චීනවිද්යා පුහුණු කළාහු දැ” යි.