4. 5. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථ චීවරය නො නිසැජැ පිරිබෝ කෙරෙයි. අනෙක් ඔසප්වූ මෙහෙණෝ නො ලබත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ ආවස්ථචීවරය නොනිසැජැ පිරිබෝ කළා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථචීවරය නො නිසැජැ පරිබෝ කෙරේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා;
“යම් මෙහෙණක් ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ආවස්ථචීවර නම්: ඔසප් වූ මෙහෙණෝ පරිබෝ කෙරෙත්ව යි දෙන ලද්දේ වෙයි.
අනිස්සජිත්‍වා පරිභුඤ්ජෙය්‍ය: දෙතුන් රැයක් පිරිබෝ කොට සිවුවන දිනයෙහි දොවා මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරැණියකට හෝ නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
නොනිසැජූ සිවුරෙහි නොනිසැජූසන් ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජූ සිවුරෙහි විමති ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජූ සිවුරෙහි නිසැජූසන් ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
නිසැජූ සිවුරෙහි නොනිසැජූ සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජූ සිවුරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. නිසැජූ සිවුරෙහි නිසැජූ සන් ඇතියා නම් ඇවැත් නැති.
නිසැජැ පිරිබෝ කෙරේ නම්, නැවත පිළිවෙළින් පිරිබෝ කෙරේ නම්, අන් මෙහෙණෝ ඔසප් නොවූවෝ වෙත් නම්, ඇසිඳගත් සිවුරු ඇතියාට, නට සිවුරු ඇතියාට, ඇවැත් නො වේ. ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
4. 5. 8.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ආවාසය නොනිසැජැ චාරිකාවට ගියා යැ. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ආවාසය දැවේ. භික්‍ෂුණීහු මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි එසේ නම් බඩු බැහැර කරම්හ” යි. ඇතැම් මෙහෙණ කෙනෙක් “ආර්‍ය්‍යාවෙනි, අපි බැහැර නො කරම්හ. යමක් නැසුණේ නම් (ඒ) සියල්ල අපගෙන් විචාරා” යැ යි මෙසේ කීහු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී නැවත ඒ ආවාසයට පෙරළා අවුත් මෙහෙණන් පිළිවිසූ ය. ආර්‍ය්‍යාවෙනි, බඩු බැහැර කළහු දැ යි. ආර්‍ය්‍යාවෙනි, අපි නො බැහැර කළම්හ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ ආවාසය දැවෙන කල්හි බඩු බැහැර නො කළාහු දැ” යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් ආවාසය නො නිසැජැ චාරිකාවට යේ නම් පචිති වේ” යයි.