4. 5. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ නටවන්නන්ට ද නටන්නන්ට ද පනින්නන්ට ද ඉඳුරුදැලියන්ට ද කළකිඩියරුන්ට ද පිරිස්හි මාගේ ගුණ කියව යි සියතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ දෙයි. නටවන්නෝ ද නටන්නෝ ද පනින්නෝ ද ඉඳුරුදැලියෝ ද කළකිඩියරු ද පිරිස්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ගුණ කියති. ආර්‍ය්‍ය වූ ථුල්ලනන්‍දා තොමෝ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා වෙයි. ආර්‍ය්‍යාවට දෙවු ආර්‍ය්‍යාවට (සත්කාර) කරව යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා ගිහියකු හට සියතින් කෑ යුත්තක් බිදිය යුත්තක් දුනු දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුහට සියතින් කෑ යුත්තක් බිදිය යුත්තක් දේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුහට සියතින් කෑ යුත්තක් බිදිය යුත්තක් දුනු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් ගිහියකු හට හෝ පිරිවැජියකුහට හෝ පිරිවැජිනියකට හෝ සියතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ දේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී: … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අගාරික නම්: යම් කිසිවෙක් ගෙහි වෙසෙයි ද (හේ යැ)
පරිබ්බාජක නම්: මහණ ද හෙරණ ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවෙකි.
පරිබ්බාජිකා නම්: මෙහෙණ ද හික්මනුව ද හෙරැණිය ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවක.
ඛාදනීය නම්: පස් බොජුන දිය දැහැටි තබා සෙස්ස ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: පස් බොජුනැ, බත් යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ.
දදෙය්‍ය: කයින් හෝ කයපිළිබැඳියකින් හෝ නිසැගියෙන් හෝ දේ නම් පචිති ඇවැත් වේ. දිය දැහැටි දේ නම් දුකුළා ඇවැත් වේ.
දෙවානම්, නො දේ නම්, වෙතැ තබා දේ නම්, බැහැරි පිඬක් දේ නම් උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති. ඇවැත් නො වේ.
සවන සිකපද යි.
4. 5. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථ චීවරය නො නිසැජැ පිරිබෝ කෙරෙයි. අනෙක් ඔසප්වූ මෙහෙණෝ නො ලබත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ ආවස්ථචීවරය නොනිසැජැ පිරිබෝ කළා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථචීවරය නො නිසැජැ පරිබෝ කෙරේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා;
“යම් මෙහෙණක් ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ආවස්ථචීවර නම්: ඔසප් වූ මෙහෙණෝ පරිබෝ කෙරෙත්ව යි දෙන ලද්දේ වෙයි.
අනිස්සජිත්‍වා පරිභුඤ්ජෙය්‍ය: දෙතුන් රැයක් පිරිබෝ කොට සිවුවන දිනයෙහි දොවා මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරැණියකට හෝ නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.