4. 5. 2.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරති. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි … සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ. … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පිරිබෝ කළාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දික්හඟළා පුටු හෝ පලඟ හෝ පරිබෝ කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
ආසන්‍දි නම්: ඉක්ම වූ පමණ ඇතියා කියනු ලැබේ.
පල්ලඞ්ක නම්: ඇරැහිඳුවා කළ වග රුවින් කරන ලද්දේ වෙයි.
පරිභුඤ්ජෙය්‍ය: එහි වැදහිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
දික්හඟළා පුටුවෙහි පා සිඳපියා පරිබෝ කෙරේ නම්, පලඟෙහි වගරූ බිඳපියා පරිබෝ කෙරේ නම්, ඇවැත් නොවේ. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
4. 5. 3.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ හූ කටිති. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් හූ කැටුහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ හූ කැටූහු දැ” යි. සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ හූ කටිත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ හූ කැටූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් හූ කටී නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම් බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
සුත්ත නම්: හූ සයෙකි. කොමුහූ යැ, කපුහූ යැ, නියදහූ යැ, පලස්හූ යැ, හණ හූ යැ, මුසුහූ යැ.
කන්තෙය්‍ය: තොමෝ කටී නම් පියෝහි දුකුළා වෙයි. කැට නග නගා හිද්දෙහි ඔත්කල්හි පචිති ඇවැත් වේ.
කටින ලද හුයක් කටී නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.