4. 5. 3.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ හූ කටිති. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් හූ කැටුහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ හූ කැටූහු දැ” යි. සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ හූ කටිත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ හූ කැටූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් හූ කටී නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම් බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
සුත්ත නම්: හූ සයෙකි. කොමුහූ යැ, කපුහූ යැ, නියදහූ යැ, පලස්හූ යැ, හණ හූ යැ, මුසුහූ යැ.
කන්තෙය්‍ය: තොමෝ කටී නම් පියෝහි දුකුළා වෙයි. කැට නග නගා හිද්දෙහි ඔත්කල්හි පචිති ඇවැත් වේ.
කටින ලද හුයක් කටී නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.
4. 5. 4.
සිවුවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කෙරෙති. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කළාහු දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කෙරෙත් දැ යි … සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කළාහුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් ගිහියන් පිළිබඳ වතාවත් කෙරේ නම් පචිති වේ” ය යී.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
ගිහීචෙය්‍යාවච්ච නම්: ගිහියකුහට කැඳක් හෝ බතක් හෝ කෑ යුත්තක් හෝ පිසා නම්, සළුවක් හෝ වෙළුමක් හෝ දොවා නම් පචිති ඇවැත් වේ.
හඹු පීමෙහි සඟබත්හි සෑපිදුමෙහි තමාගේ වතාවත්කරුට කැඳක් හෝ බතක් හෝ කෑ යුත්තක් හෝ පිසා නම්, සළුවක් හෝ වෙළුමක් හෝ දොවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
සිවුවන සිකපද යි.
4. 5. 5.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළඹැ ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව” යි කිවු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මැනවැ” යි ගිවිස නො මැ සන්සිඳුවයි. සන්සිඳුවාලීම පිණිස වෑයම් නො කෙරෙයි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.