3. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි එක්තරා මුළුවක්හුගේ පිරිවෙන් වැසි මෙහෙණෝ හුළුකැනින් මිරිකෙත්. එකල්හි ඒ මුළුව මෙහෙණන්ගේ හුළුකැන් පිණිස මෙරමා සඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා වෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙය කී යැ. ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළෙඳාගේ ගෙහි හුළු කැන් පිණිස පිරිකරෙක් තබනලදී. එයින් සහල් ගෙන්වා හුළුකැන් පිසවා වළඳනු මැනැවැ” යි. මෙහෙණෝ ඒ පිරිකරිනුදු තුමූ මැ ඉල්වා බෙහෙත් මිල දී ගන්වා වැළඳූහ. ඒ මුළුව දැන ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා ඉල්වාගත් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ යි, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් ගණසතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා නම් නිසඟිපචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤදදිසිකෙන: අනෙකක් සඳහා දුන්.
මහාජනිකෙන: ගණයාහට යැ, සඟනට නො වෙයි, එක් මෙහෙණකට නො වේ.
සඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වා ගත්.
අඤ්ඤංචේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් ගණසතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී. මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙනලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ. නිසැජු දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.
අනෙකක් සඳහා නො දෙනලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නොදෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙනලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
ඉතිරි වූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.