3. 10.
දසවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූ තැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්රවූවා වෙයි. බොහෝ මිනිස්සු ථුල්ලනන්දා භික්ෂුණිය ඇසිරි කෙරෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණියගේ පිරිවෙන බිඳ වැටෙයි, මිනිස්සු ථුල්ලනන්දා භික්ෂුණියට “ආර්ය්යාවෙනි, ඔබගේ මේ පිරිවෙන කුමක් හෙයින් බිඳවැටේ” දැ යි මෙය කීහු. ඇවැත්නි, දායකයෝ නැතියහ. කාරකයෝ නැතියහයි. එකල්හි ඒ මිනිස්සු ථුල්ලනන්දා භික්ෂුණියගේ පිරිවෙන පිණිස (මෙරමා) සඳ හා රිසි දනවා පිරිකරක් ථුල්ලනන්දා භික්ෂුණියට දුන්හු. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ඒ පිරිකරිනුදු තොමෝ මැ යැද බෙහෙත් මිල දී ගන්වා වැළඳූ යැ. මිනිස්සු දැනැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසාදුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ” යයි.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්.
පුග්ගලිකෙන: එක් මෙහෙණකට යැ, සඟනට නො වෙයි, ගණයාහට නො වේ.
සඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වා ගත්.
අඤ්ඤං චේතාපෙය්ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි, මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්ය්යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල් සතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට දෙමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්ය්යාවට දෙමි යි.
අනෙකෙක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ, නිසැජු දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.
අනෙකෙක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකෙක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
ඉතිරි වූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
3. 11.
එකොළොස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී බොහෝ ඇසූපිරූ තැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්රවූවා වෙයි, එකල්හි ප්රසේනජිත් කෝශල රජතෙමේ ශිතකාලයෙහි මහඇඟි පලසක් පොරවා ථුල්ලනන්දා භික්ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹ ථුල්ලනන්දා භික්ෂුණිය සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නාවූ මැ ප්රසේනජිත් කෝශල රජහට ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ යැ. මොනවට කරුණු ගැන්වූ යැ. මොනවට තෙද ගැන්වූ යැ, මොනවට සතුටු කරවූ යැ, එකල්හි ප්රසේනජිත් කෝශල රජ තෙමේ ථුල්ලනන්දා භික්ෂුණිය විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙදගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ ථුල්ලනන්දා භික්ෂුණියට “ආර්ය්යාවෙනි, යමෙකින් ප්රයෝජනයෙක් වේ නම් කියන්නැ” යි මෙය කීයැ. ඉදින් මහරජ, දෙනුකැමැත්තෙහි නම් මේ පලස මට දෙන්නැ යි කිවූ යැ. එකල්හි ප්රසේනජිත් කෝශල රජතෙමේ ථුල්ලනන්දා භික්ෂුණියට පලස දී හුනස්නෙන් නැගිට ථුල්ලනන්දා භික්ෂුණිය සකසා වැඳ පැදකුණු කොට ගියේ යි.